මාලදිවයින් ජන රජයේ ගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමා, සජිදා මොහොමඩ් මැතිණිය සහ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මාලදිවයින් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක්.
පාරාදීසයක් තරම් සුන්දර රටක් ලෙස නොපැකිලිව සඳහන් කළ හැකි මාලදිවයිනේ සංචාරය කිරීමේ අවස්ථාව 2025 ජූලි මාසයේදී අපිට ලැබුණා. අප ජාතින් දෙක අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය සනිටුහන් කරමින් සිදු කළ එම සංචාරයේදී මම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරතවන ලෙස මාලදිවයින් ජනාධිපතිවරයා වෙත ආරාධනා කළා. එම ආරාධනය පිළිගැනීම පිළිබඳව මම එතුමාට ස්තූතිවන්ත වෙනවා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින එකිනෙකා කෙරෙහි ගෞරවය ලබා දෙන ලස්සන රටවල් දෙකක්. ආගන්තුක සත්කාර සහ සංවේදි හදවත් තිබෙන මිනිසුන් ජීවත්වන රටවල් දෙකක්. අපේ දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වුයේ 1965 ජූලි 26 වන දින. මාලදිවයින නිදහස ලැබූ පළමු දිනයේ සිට බව ඇත්ත. නමුත් එම සබඳතා නිල කාලයට වඩා සියවස් ගණනාවක් පුරා ඈතට දිව යනවා.
ඓතිහාසික වාර්තාවලට අනුව විජයකුමරු සමඟ පැමිණි කණ්ඩායමේ කොටසක් පදිංචි වූ ස්ථානය මාලදිවයින බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ අනුව බලන විට අපේ සබඳතා මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරව සහ සමීප සංස්කෘතිය සහ භාෂාමය බැදීම් දක්වා සියවස් ගණනාවක් ඈතට මුල්බැස තිබෙනවා. ඒ සියල්ල අපේ රටවල් දෙක අතර බැදීම් ශක්තිමත් කර තිබෙනවා. වසර ගණනාවක් පුරා මෙම ඓතිහාසික සබදතා අපේ කලාපයේ සාමය, සමගිය සහ තිරසර සංවර්ධනය සඳහා පොදු අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ පදනම බවට පත්වී තිබෙනවා.
වෙළෙඳාමේ විවිධාංගීකරණය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබදතාවල ශක්තිමත් අංගයක් බව සිහිපත් කළ යුතුයි. විශේෂයෙන් සාර්ක් රටවල් අතර ශ්‍රී ලංකාව සඳහා තුනවන විශාලතම අපනයන ගමනාන්තය මාලදිවයින බව ගෞරවයෙන් මතක් කරනවා. ඒ අප දෙරට පවත්වාගෙන යන අඛණ්ඩ පුද්ගල සබදතා මෙන්ම සමීප මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා සඳහා සාක්ෂියක් වෙනවා. එම සමිපතාව අපේ රටවල් දෙකට එක්ව, අවබෝධයෙන් පෙරට යාමට මහගු අවස්ථාවක් ලබා දෙනවා.
දේශගුණය, මානව ගුණය, ආර්ථිකය සංස්කෘතික විචිත්‍රත්වය, ජීවන රටාව, ආගන්තුක සත්කාර යනාදිය මේ සියල්ල ගෙන බැලු විට අපේ රටවල් දෙක අතර බොහෝ සමානකම් සහ සමීපකම් තිබෙනවා. අප අතර අසමානකමකට ඇත්තේ මාලදිවයින තැනිතලා සුන්දර බිමක් වීම සහ ශ්‍රී ලංකාව කඳුවැටි සහිත සුන්දර බිමක් වීම පමණයි කියා මට සිතෙනවා.
අප දෙරට අතර තිබෙන සමීපතම බැදීමේ ඉතා හෘදයාංගම අත්දැකීම් බොහොමයක් තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාව මැතකාලීනව මුහුණ දුන් අතිශය අවාසනාවන්ත ස්වභාවික ව්‍යසනය වු දිට්වා සුළි කුණාටුවෙන් පසු මාලදිවයින රජය සහ ජනතාව අපිට ශක්තියක් වූ ආකාරය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.
තමන්ගේ අසල්වැසියෙක් ව්‍යසනයකට හෝ පීඩාවකට ලක් වූ පසුව ක්ෂණිකව මැදිහත්වීමේ ආදර්ශය මාලදිවයින සහ එරට ජනතාව ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ ලබාදුන් අතිමහත් සහයෝගීතාව සහ ත්‍යාගශීලිභාවය වෙනුවෙන් මම ජනාධිපති මුයිසුටත්, මාලදිවයින් රජයටත් එරට ජනතාවටත් මගේ කෘතවේදීත්වය පළ කරනවා.
ව්‍යසනය මොහොතේ අප වෙත දිගු කල දෑත් හදවතේ ගැඹුරු ගෞරවයකින් සිහිපත් කරනවා. ජනාධිපති මුයිසු සහ මම දූත පිරිස සමග පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අපේ බහුවිධ සබදතාවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කළා.
විශේෂයෙන් ගෝලීය දේශපාලන විපර්යාස සහ එහි බලපැම අපේ රටවල් දෙකටම පොදු තර්ජනයක් සහ ගැටලුවක් වී තිබෙන අතර ඊට විසදුම් සෙවීම සඳහා අපේ රටවල් දෙක ජාත්‍යන්තර සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. මුහුදු මට්ටම ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයින විශාල සටනක් සිදුකරන අතර එම සටනේදී මාලදිවයිනේ විශ්වාසනීය සටන් සගයෙකු ලෙස අප කටයුතු කරන බව සිහිපත් කරනවා.
අපගේ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීම සඳහා බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට ඇති ක්‍රම පිළිබඳව අපි අදහස් හුවමාරු කර ගත්තා. විශේෂයෙන්ම සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය, ක්‍රීඩා සහ තරුණ සංවර්ධන, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුවා.
කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා අතර මාලදිවයින සමඟ මෙම හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට අපි උනන්දු වෙනවා. විශේෂයෙන් තොරතරු තාක්ෂණ සහ කෘත්‍රීම බුද්ධිය, ධීවර සහ කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකය මෙන්ම දේපළ වෙළෙඳාම් සහ නාගරික යටිතල පහසුකම් අංශවලටඅදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස මාලදිවයින් ව්‍යාපාරවලට මම ආරාධනා කළා.
හෙට එනම් මැයි 5 වැනි දින පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසදයේ සාර්ථකත්වය සඳහා මම මගේ සුබපැතුම් පිරිනමන අතර, එය ඉදිරි දිනවලදී බොහෝ ඵලදායී හවුල්කාරිත්වයන් සඳහා මගපාදනු ඇතැයි මම විශ්වාස කරනවා.
සාගරය නිවහන කරගත් දූපත් ජාතින් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරය මතම බොහෝ සෙයින් රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසුට ස්තූතිවන්ත වෙනවා.
මාලදිවයිනේ කාර්මික ධීවර සමාගම් යටතේ නිෂ්පාදනය කරන ලද ධීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීමේ උත්සවයට ජනාධිපති මුයිසු නායකත්වය දෙනවා. මේ උත්සවය සාර්ථක වන ලෙසත්, ඵලදායී හවුල්කාරිත්ව ගොඩනගා ගැනීමට හැකිවන ලෙසත් මම මගේ සුබපැතුම් පිරිනමනවා.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකිය යුතු විභවතාවක් ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගීතාවේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසුට දැනුම් දුන්නා.
ඒ වගේම මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්ව ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් ඇති කරන අතර, සංචාරකයින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම ද්විත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවස්ථාවන් ගවේෂණය කිරීම ඉතා ඵලදායී වෙනවා.