බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සොයා බැලීමේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආපදා තත්ත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත්, පුද්ගලයන් 90,667ක් පීඩාවට පත් වූ අතර වතු නිවාස 77කට සහ ග්‍රාමීය නිවාස 507කට පූර්ණ හානි සිදු විය. අධි අවදානම් නිවාස ලෙස වතු නිවාස 1376කුත්, ග්‍රාමීය නිවාස 1474කුත් හඳුනාගෙන තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ නැවත පදිංචිකළ යුතු මුළු පවුල් සංඛ්‍යාව 3434කි. එම ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව කරුණු විමසීය.
නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ඉඩම් ලබාදීම පිළිබඳ ආයතන අතර එකඟතාව ඇතිකර ගැනීමත් සමඟම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්තා සහ සැලසුම්වලින් ඔබ්බට ගොස් නිවාස අහිමි වූ ජනතාව තුළ නව නිවසක හිමිකාරීත්වය පිළිබඳ අපේක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.