නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
වතු ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ස්ථීර නිවාස ඉදිකර දෙන තුරු ඒ වෙනුවෙන්වෙන් කළ ඉඩම්වලම තාවකාලික නිවාස ඉදි කර දෙන්න
– ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වු මිනිස් ජීවිත සහ විනාශ වූ දේපොළ සඳහා වන්දි ගෙවීම, ව්‍යාපාර හානි ගෙවීම, නිවාස හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු විමසූ ජනාධිපතිවරයා නැවත පදිංචිකිරීම් සහ ඉඩම් හඳුනා ගැනීමේ ක්රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව විමසා බැලීය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ්, නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, තලවාකැලේ, වලපනේ, මතුරට, හඟුරන්කෙත, කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10හිම පවුල් 18,266කට අයත් පුද්ගලයන් 61,833ක් පීඩාවට පත් වූ අතර වතු නිවස 675කට සහ ගම්මානවල නිවාස 1565කට පුර්ණ හානිත්, වතු නිවාස 612කට සහ ගම්මානවල නිවාස 153කට අර්ධ හානිත් සිදු වූ අතර ජීවිත හානි 93ක් වාර්තා විය.
එම ජනතාවට සහන සැලසීමට ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලීය.
නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන වතු ජනතාව පවතින වැසි සමයත් සමග ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන් නැවත පදිංචි කිරීම් සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කිරීමේ කාර්යය කඩිනම් කරන ලෙසත්, එම ඉඩම්වල ස්ථීර නිවාස ඉදිකරන තුරු එම ස්ථානයේම කඩිනමින් තාවකාලික නිවසක් ඉදි කර දීමට පියවර ගන්නා ලෙසත් අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.