“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ….

ශ්‍රී ලාංකීය පොදු ප්‍රවාහන සේවයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “අනාගතයට ගොඩවෙන්න” යන තේමාව යටතේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් නිර්මාණය වූ “පත්ල පහත්” (Low Floor) බස් රථ සේවාව අද (21) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ විය.

මගී ජනතාවට බස් රථය පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාගත හැකි “LMT GO” ජංගම දුරකථන යෙදුම (Application) හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරිණි.

මෙම සමාරම්භක උළෙල අමතමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් බවයි.

රෝද පුටු භාවිත කරන, දෘෂ්‍යාබාධිත සහ ගැබිණි මව්වරුන් වැනි විශේෂ ප්‍රජාවට ප්‍රමුඛතාව දෙමින් අනෙක් මගීන්ටත් සුවපහසු ගමනක් මෙයින් සහතික වන බවත්, වසර අවසන් වීමට පෙර මෙවැනි බස් රථ 122ක් ධාවනයට එක් කරන අතර, කොළඹින් බැහැරව මහනුවර, මඩකළපුව, මාතර සහ යාපනය වැනි ප්‍රදේශවලටත් මෙම සේවාව ව්‍යාප්ත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහනය යනු වගකීම් සහගත කර්මාන්තයක් බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැප වූ සියලු නිලධාරීන්ට තම ස්තුතිය පිරිනමන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් මෙහිදී අදහස් දැක් වූ ලසංග රත්නායක මහතා පෙන්වා දුන්නේ පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීමේදී වැඩිම පීඩාවට පත් වන කණ්ඩායම ආබාධ සහිත පුද්ගලයන් බවත්, මෙම ව්‍යාපෘතිය එම ප්‍රජාව වෙනුවෙන් සිදු කළ ඉතා ඵලදායී සහ වැඩදායී කාර්යයක් බවත් ඒ වෙනුවෙන් රජයට ස්තූතිය පිරිනමන බවත්ය.

රෝද පුටු සඳහා වෙන් වූ විශේෂ ආසන සහ පහසුවෙන් ගොඩවිය හැකි පහත් පියගැටපෙළ සහිත ආසන 30ක බස්රථ 10ක් මෙම නියමු ව්‍යාපෘතිය යටතේ සේවයට එක් කර ඇත.

මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා සහ මාකුඹුර සිට කඩවත දක්වා ධාවනයේ යෙදෙන මෙම බස් රථ කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවනය වේ.

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, දේවානන්ද සුරවීර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්.පී.සී. සුගීෂ්වර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න, එහි අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඩී.ඒ.ටී. රුද්‍රිගු සහ විමල් එස්.කේ. ලියනගම යන මහත්වරුද,රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ.