විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම’ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කෙරේ….

මෙම ජාතික කර්තව්‍ය සඳහා සියලු මාධ්‍යයේ දායකත්වය අපේක්ෂා කරනවා

– ජනපති

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.

මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කර ගනිමින් බොහෝ අපරාධ සිදු වන බවටද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇත.

එම ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම’ ක්‍රියාත්මක කෙරෙන අතර පුළුල් ප්‍රචාරක ක්‍රියාවලියක් ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එම ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ලබාගත හැකි දායකත්වය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් තිබෙන බවයි. මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය.