ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවෙති… රටේ වත්මන් තත්ත්වය ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්….

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ කුමක්ද කියා අනවබෝධයක් සහිත තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික උපායමාර්ග ඉදිරියට ගෙන යාමට හැකිද? තමන්ගේ දරුවන් පාසල් යැවිය හැකිද? තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගත හැකිද? ආදී අවිනිශ්චිතතාවක් ජනතාව තුළ ඇති වී තිබෙනවා. මොකද මෙවැනි ව්‍යසනයන් හමුවේ ජනතාවට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ

අපේ රටේ ජනතාවට මෑතකාලීන අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් ඇති වීම පිළිගත හැකි කරුණක්.

මේ යුදමය තත්ත්වය හමුවේ ආණ්ඩුවක් ලෙස, රටක් ලෙස, අපි අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ යුද්ධයේදී අපේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථභාවයයි. අපේ ප්‍රකාශ, ක්‍රියාමාර්ග සහ අප එළැඹෙන සම්මුති මේ සියල්ල ගැබී වී තිබෙන්නේ එම මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගෙනයි. මම හිතනවා එම මධ්‍යස්ථභාවයේ ප්‍රතිඵලයක් ලෙස අද ජාත්‍යන්තර වශයෙන් අපිව පිළිගැනීමට සහ විශ්වාසයට ලක්ව තිබෙනවා. ඒ නිසා යුද්ධය කවර අන්තයකට තල්ලු වුවද අපි අපේ මධ්‍යස්ථභාවය ගිලිහී යන අන්දමින් කටයුතු කරන්නේ නැහැ.

ඒ වගේම, ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් සහ සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය කඩා නොවැටෙන ආර්ථිකයක් අපි සකස් කළ යුතුයි. අපි දන්නවා ආකාර දෙකකින් මෙම ආර්ථක කැළඹිලි ඇති වෙනවා. එකක් අභ්‍යන්තර කම්පන. අපි දන්නවා පසුගිය නොවැම්බර් මාසයේ අගභාගයේදී මුහුණ දීමට සිදු වූ දිට්වා සුළි කුණාටුව එවැනි අභ්‍යන්තර කම්පනයක්. ඒ අභ්‍යන්තර කම්පනයේදී අපේ ආර්ථිකයට ඩොලර් බිලියන4.1ක පමණ හානියක් සිදු වුණා. එහෙත් අපි සතුව තිබූ මූල්‍ය ස්ථාවරභාවය සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය හේතු කර ගෙන එම කම්පනයට සාර්ථකව මුහුණ දී ඉතා කෙටි කාලයකින් අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට සහ ආර්ථික ක්‍රියාකාරම්වලට පණ පෙවීමට පුළුවන්කම ලැබුණා.

එහි සාර්ථකභාවය පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසයේ අපේ ආර්ථික දත්තවලින් පෙන්නුම් කරනවා. මොකද ඒ මාස දෙකේ පමණක් මහබැංකුව ඩොලර් මිලියන 700ක් පමණ වෙළෙඳපොළෙන් මිලදී ගත්තා. එය මෑත ඉතිහාසයේ වැඩිම මිලදී ගැනීම. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඉලක්ක සම්පූර්ණ කර ආදායම් අභිබවා ගියා. ඒ නිසා එම අභ්‍යන්තර කම්පනයට ඔරොත්තු දීමට හැකියාව ලැබුණා. දැන් අප හමුවේ බාහිර කම්පනයක් තිබෙනවා.

එම බාහිර කම්පනයටද ඔරොත්තු දෙන අන්දමින් අපි ආර්ථිකය සකස් කළ යුතුයි. ඒ අභියෝගය සහ විශ්වාසය අපිට තිබෙනවා. හැබැයි, මේ යුද්ධයේ ස්වභාවය වන්නේ යුද ගැටුමේදී සියලු පාර්ශ්ව තම තමන්ගේ සීමා සහ ඉලක්ක තෝරාගෙන තිබෙනවා. පාලනය වෙනස් කිරීම, සමස්ත සැපයුම් ජාලය බිඳ වැට්ටවීම වැනි ඉලක්ක එහි තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, තෙල් ගබඩාවලට පහර දීම, තෙල් ප්‍රවාහනය කරන නැව්වලට පහරදීම වගේම වරායවලට පහරදීම බලශක්ති වෙළෙඳපොළේ ජාත්‍යන්තර පරිමාණයෙන් අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා.

එය හරිද, වැරදිද යුක්ති සහගතද යන්න වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන් බලශක්ති වෙළෙඳපොළේ නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සැපයුම් ජාලය අඩපණ වී තිබෙනවා. එය ලෝක තතු පිළිබඳ කුඩා හෝ අවබෝධයක් ඇති අය දන්නවා. අද නිෂ්පාදනය අඩපණ වී තිබෙනවා. ගබඩකරණය සහ සැපයුම් ජාලය අඩපණ වී තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයේ ප්‍රමුඛතම කේන්ද්‍රය බවට පත්ව තිබෙන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වන අර්බුදයයි. මෙම යුද්ධයේ අභ්‍යන්තර ගැටුමක් තිබෙනවා. අපි එය අවබෝධකරගත යුතුයි.

අපේ ප්‍රධාන බලශක්ති මෙවලම් වන්නේ ඉන්ධන, ගෑස් සහ ගල්අගුරු. ඉන්ධනවලට අපි ඉතා හොඳ දිගුකාලීන ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණා. හැබැයි, අපිට බොරතෙල් සැපයුම් මෙට්ට්‍රික් ටොන් 90,000ක නැව් දෙකක් නියමිත කාලයේදී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මෙම නැව් කාලයක් ප්‍රමාද වන බව දැනුම් දී තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ අපේ තෙල් අලෙවි කරන්නන් සිටිනවා. ඔවුන්ගේ එක් නැවක් නියමිත පරිදි ලැබෙන්නේ නැහැ කියා දැනට වාර්තා වී තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙනවා.

වරායට නැවක් පැමිණීමේදී ගබඩාවලට තෙල් පොම්ප කිරීම, නැව එහි තිබෙන කාලය, ගබඩාවල තිබෙන ප්‍රමාණය, නැවත නැවකට ඒ වෙත ළඟා වීමේ හැකියාව යන දෑ කළමනාකරණය කරන පද්ධතියක් තිබෙනවා. එක් නැවක හෝ ප්‍රමාදයක් සම්පූර්ණ ජාලයම අර්බුදයට පත් කරනවා. මොකද අපි සීමිත සම්පත්වලින් තමයි මේ බලශක්ති ක්ෂේත්‍රය පාලනය කරන්නේ. ඒ නිසා අපි ඉලක්ක සහගත ලෙස සැලසුම් කර තිබූ ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නැහැ. එසේ නම් අපි මීට විසඳුම් සොයන්නේ කොහොමද?

විශේෂයෙන් 2025 වසර අපේ ආර්ථිකයේ ඇතැම් දත්ත ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රශස්තම දත්ත. ඒ වගේම, දශක ගණනාවකට පසු අපි අත්පත් කර ගත් දත්ත තිබෙනවා. ඒ නිසා ආර්ථික තලයේ ඉතා හොඳ ජයග්‍රහණයක් අපි 2025 වසරේ අත්පත් කරගෙන තිබෙනවා. අපේ අභියෝගය තමයි මේ ආර්ථික ජයග්‍රහණ අඛණ්ඩතාවෙන් පවත්වා ගෙන යමින් මේ අර්බුදයට මුහුණදෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් මීට පෙර තිබුණාට වඩා තමන්ගේ ජීවන රටාවේ යම් වෙනසක් ඇති කරගෙන තිබෙනවා. එම ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද කියන එක පිළිබදවත් අපි අවධානය යොමු කර තිබෙනවා. මෙම කරුණු මත තමයි, අපි බලශක්ති ක්ෂේත්‍රයේ මතුව තිබෙන ගැටලුවලට විසඳුම් සොයන්නේ.

මේ ආර්ථිකයේ අත්පත් කර ගෙන තිබෙන ජයග්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජනතාවගේ ජන ජීවිතය අඩාළ නොවී පවත්වා ගෙන යාමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ සඳහා මැදිහත් වන්නේ. ඒ සඳහා අපි ආරම්භයේදීම ආර්ථික අවේක්ෂණ කමිටුවක් පිහිටුවනු ලැබුවා. එම කමිටුව ඉතා කෙටි කාලයන් තුළ රැස් වෙමින් ඇති වන තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරනවා. ඒ වගේම මහබැංකුව දවස් දෙකකට වරක් ඇති වී තිබෙන තත්ත්වයන් සහ ගත යුතු පියවර පිළිබඳ නව වාර්තා අපිට ඉදිරිපත් කරනවා. එම වාර්තා පිළිබඳ ආර්ථික අවේක්ෂණ කමිටුව තුළ සාකච්ඡා කරමින් අපි ඉතා ප්‍රශස්ත ලෙස තීන්දු තීරණ ගන්නවා.

යම් තීන්දු තීරණ ප්‍රමාද නොවිය යුතුයි. ඒ වගේම දත්ත අධ්‍යයනය කරමින් නිසි අවස්ථාවේදීම ගත යුතු තීන්දු තිබෙනවා. ඊට අමතරව ආර්ථික අවේක්ෂණ කමිටුවේ මැදිහත් වීමෙන් තවත් ක්ෂේත්‍ර කිහිපයක තීන්දු තීරණ ගැනීම සිදු වෙනවා.

බලශක්ති සැපයුම සාර්ථක කර ගැනීම සඳහා කරන මැදිහත් වීම එහි ප්‍රධාන වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වන විට මැදිහත් වීම් කිහිපයක් කර තිබෙනවා. අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මිත්‍ර රාජ්‍යයන් සමග ඉතා සමීප සාකච්ඡාවක නිරත වී සිටිනවා, ඒවායේ ඉතා හොඳ ප්‍රගතියක් තිබෙන බවද ප්‍රකාශ කිරීමට කැමතියි.

දෙවනි එක, අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්මා. අද අපි ටෙන්ඩරයක් විවෘත කළා. එහිදී අපට ඩීසල්, බොරතෙල්, ලිහිසි තෙල්, පෙට්‍රල් සඳහා ඉතාමත් විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ලංසු පැමිණ තිබෙනවා. අපි ඔවුන්ට ඒ ටෙන්ඩර් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමාද වන කාලය ආවරණය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. ඒ වගේම ඕනෑම මොහොතකදී ඉන්ධන සපයන නෞකාවක් පැමිණෙන අතරමඟ යම් අර්බුදයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඒ සඳහා අතිරික්ත වශයෙනුත් අපි ටෙන්ඩර් ප්‍රදානය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ නිසා අපි අද එය සම්පූර්ණ කළා. ඒ වගේම හෙට දිනයේ තවත් ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතනදිත් අපට විශ්වාසවන්ත සැපයුම්කරුවකු එනවා. මේ වෙලාවේ අපට විශ්වාසවන්ත සැපයුම්කරුවන් අවශ්‍යයි. ඒ සඳහා අපි කටයුතු කර තිබෙනවා. යම් මිල වැඩි වීමක් තිබෙනවා, ඒ ටෙන්ඩර් දෙස බැලුවම. සාමාන්‍යයෙන් ප්‍රීමියම් අගය ඩොලර් තුනට වඩා අඩුවෙන් තමයි තිබුණේ. මේවායේ ප්‍රීමියම් අගය ඩොලර් තුනට වඩා වැඩියි. ඒ නිසා යම් මිල වැඩි වීමක් තිබෙනවා. එහෙත් අපේ අපේක්ෂාව තිබෙන්නේ බලශක්ති සැපයුම් අඛණ්ඩව ලබා දීමයි.