විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ‍…..

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ‍.

මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනයක්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මණින් විනාශ කිරීමට අදාළ නීති සංශෝධන කඩිනම් කරන්න

– ජනපති

මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බවත්, අත්අඩංගුවට ගන්නා එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම පිළිබඳ පොදු සමාජයට සහ මෙහෙයුම්හි නිරත කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

එම කටයුතුවලදී මතුව ඇති ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන්, ඊට අදාළ නීති සංශෝධනය සඳහා පත්කර ඇති කමිටුව සමඟ සාකච්ඡා කර නීති සම්පාදන කටයුතු කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.

රට තුළ විවිධ අවස්ථාවන්හි සමාජ සහ ආර්ථික වශයෙන් විවිධ තත්ත්වයන් මතු වුවද එම කිසිදු අභියෝගයක් හමුවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විෂ මත්ද්‍රව්‍ය සැපයුම් සහ බෙදා හැරීම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන සහ අධිකරණ කටයුතු ශක්තිමත් කිරීම ඇතුළු සකස් කර තිබෙන වැඩසටහන් වේගවත්ව සහ අත්නොහැර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ සමාජය සමඟ තිබෙන අඛණ්ඩ සංවාදයද පවත්වා ගනිමින් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහෙයවීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.