රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි
ජනපති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 100 වන විසිර යාමේ උළෙල අමතමින් පවසයි
සෑම අසීරු අවස්ථාවකම යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි
සුළි කුණාටුව හමුවේ ජනතාව මුදා ගැනීමේ සහ පහසුකම් සැපයීමේදී යුද හමුදාව ඉටු කළ විශිෂ්ට කාර්යභාරයට ස්තූතිවන්ත වෙනවා
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතා ඉක්මනින් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් එක්ව වැඩ කරමු’යිද සියලුදෙනාට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (21) පෙරවරුවේ එක් වෙමිනි.
අපේ රට ඉතා විශිෂ්ට උරුමයකට සහ ජයග්‍රහණවලට හිමිකම් කිව්වද පසුගිය දශක කිහිපය තුළ රට සියලු ආකාරයේ බිඳ වැටීමවලට ලක්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා අද සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම වන්නේ මාතෘ භූමිය යළි ලෝකයේ උසස් වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම බවද පැවසීය.
රජයක් ලෙස සහ ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරී ඇති වගකීම රට ගොඩනැගීම වෙනුවෙන් උපරිමයෙන් උපයෝගී කර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැගීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සහ දේශපාලනය මහ ජනතාවගේ ධනය එක් රැස් කර ගන්නා වෘත්තියක සිට මහජනතාවට සේවය කරන වෘත්තීයක් බවට පරිවර්තනය කිරීමේ වගකීම රජය ඉටු කරමින් තිබෙන බවද සඳහන් කළේය.
අද (21) පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.
ජාතියටත්, ශ්‍රි ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 100 වන විසිර යාමේ පෙළපාලිය මෙය වන අතර නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 93, 94බී කෙටි කාලීන පාඨමාලා අංක 23 නිත්‍ය පාඨාමාලා අංක 62 සහ ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨාමාලා අංක 19 යන පාඨමාලාවන්ට අයත් කෙඩෙට් නිලධාරීන්/නිලධාරිනියන් 240 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි ලබා යුද හමුදා සේවයට එක් වීම මෙහිදී සිදු කෙරිණි. මේ අතරින් විදෙස් රටවල කෙඩෙට් නිලධාරි නිලධාරිනියන් 08 දෙනෙක්ද පුහුණුව ලබා විසිර යාමද විශේෂත්වයකි.
කෙඩෙට් නිලධාරී, නිලධාරිනියන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වූ අතර දක්ෂතම කෙඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජ පිළිගැන්වීම සහ කෙඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමත්, එක් එක් පාඨමාලාවන්හි ප්‍රථම ස්ථානය දිනාගත් නිලධාරී, නිලධාරිනියන් වෙත ජනාධිපති කුසලතා සම්මාන පිරිනැමීමත් ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ සෑම අසිරු අවස්ථාවකම යුද හමුදාව රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකරන මෙහෙය ප්‍රශංසනීය බවත්, විශේෂයෙන් පසුගිය සුළි කුණාටුව හමුවේ ජනතාව මුදා ගැනීමේ සහ පහසුකම් සැපයීමේදී ඉටු කළ විශිෂ්ට කාර්යභාරයට ස්තූතිවන්ත වන බවත්ය.
විසිර යාමේ උළෙල ඇමතු සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
වැඩිදුරටත් මෙසේද පැවසීය.