ශ්‍රී ලංකාව රනින් සැරසූ ‘පොඩි තරුෂි’

මෑත ඉතිහාසයේදී මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවට රැගෙන ගියේ තරුෂි කරුණාරත්න ය.

නැවත වරක් මලල ක්‍රීඩා පිටිය තුළ තරුෂි යන නාමය කතා බහට ලක් වූයේ අප්‍රේල් 18 සෞදි අරාබියේදී පැවති වයස අවුරුදු 18න් පහළ මීටර් 800 කාන්තා තරගයේදී තරුෂි අභිෂේකා ලද ජයග්‍රහණයත් සමග යි.

තරග ආරම්භයේ සිට චීන ජාතික ක්‍රීඩිකාවක වූ, යේ මෙයිලෙන්ග් සමග කරට කර ධාවනයක නිරත වීමට තරුෂි අභිෂේකා සමත් වූවා ය.

තරගයේ අවසන් මීටර් 50 තුළදී චීන ජාතික ක්‍රීඩිකාව අභිබවා යමින් 10 වසරකට පසුව ශ්‍රී ලංකාවට වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම හිමිකර දීමට ඇය සමත් විය.

තරුෂි අභිෂේකා කියන්නේ කවුද?

මහදුර ගෙදර තරුෂි අභිෂේකා උපත ලබන්නේ 2008 වසරේ ඔක්තෝබර් මස 30 වැනි දා ගලේවල, නිලගම ප්‍රදේශයේදී ය.

දඹුල්ල ජාතික පාසැලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඇයට මීට වසර දෙකකට පමණ ඉහතදී ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව හිමි වී තිබුණේ මලල ක්‍රීඩා පිටියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ය.

මීටර් 800 ඉසව්වට අමතරව තරුෂි අභිෂේකා මීටර් 400 සහ මීටර් 1500 තරග ඉසව් ද නියෝජනය කරයි.

ඉකුත් 2024 වසරේ පැවති සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරගාවලියේදී තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත් වූවා ය.

එහිදී මීටර් 1500 ධාවන ඉසව්ව මිනිත්තු 04යි තත්පර 29 යි දශම 9 යි 7කින් අවසන් කළ තරුෂි බිඳ දැමුවේ මෙරටින් බිහිවූ දක්ෂ ක්‍රීඩිකාවක් වන ධම්මිකා මැණිකේ ඊට වසර 39 කට පෙර තබා තිබුණු මිනිත්තු 04යි තත්පර 35යි දශම 7ක් වූ වාර්තාව ය.

එමෙන් ම තරුෂි අභිෂේකා 2024 වසරේ ඉන්දියාවේදී පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූවා ය.

‘ඇය දක්ෂ ක්‍රීඩිකාවක්’

බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසැලේ විදුහල්පතිනිය වන කෝකිලා එදිරිසිංහ පවසා සිටියේ, තරුෂි අභිෂේකා ක්‍රීඩාවට මෙන් ම අධ්‍යාපනය අතින් ද දක්ෂතා දක්වන බවයි.

“මීට අවුරුදු දෙකකට කලින් තරුෂිව ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට එක්කන් ආවේ අපේ පාසලේ ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන්. බුද්ධික නුවන් ක්‍රීඩා පුහුණුකරු තමයි අපේ පාසලේ ළමයි අරන් ජාතික සහ පළාත් තරගවලට යන්නේ. එතැනදී තමයි තරුෂිව දැකලා අපේ ඉස්කෝලෙට ඇතුළත් කර ගන්න කටයුතු කළේ. තරුෂි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉදලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.

“එයා අධ්‍යාපනයට වගේ ම මලල ක්‍රීඩාව වෙනුවෙනුත් ලොකු කැපකිරීමක් කරනවා,” විදුහල්පතිනිය පැවසුවා ය.

‘මීළඟ බලාපොරොත්තුව ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය’

තරුෂි අභිෂේකා බීබීසී සිංහල වෙත පැවසුවේ, සෞදි අරාබියේ පැවති දේශගුණික තත්ත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම විශාල අභියෝගයක් වූ බව ය.

“ඒ රටේ පැවති දේශගුණික තත්ත්වයත් මත අපිට තරග කටයුතු කර ගැනීම ගොඩක් ලොකු අභියෝගයක් වුණා. ඒ වුණාට එම අභියෝගය හමුවේ වුණාත් මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

“මගේ මීළඟ ආසන්න ම බලාපොරොත්තුව බහරේන්වල පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් මෙරටට ගෙන එන එක,” ඇය පැවසුවා ය.

’10 වසරකට පසු ජයග්‍රහණය කළ රන් පදක්කම’

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ වැඩි ම පදක්කම් සංඛ්‍යාව මෙය වන බවයි.

“වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය මුලින් ම ආරම්භ වන්නේ 2015 වසරේදී. මේ අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 8ක් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. ඒ වගේ ම මෙවර අපේ ක්‍රීඩිකාවක්ට රන් පදක්කමක් ජයග්‍රහණය කරන්න හැකි වුණා. මේ තරගාවලියේදී අපිට රන් පදක්කමක් දිනා ගන්න ලැබුණේ අවුරුදු 10 කට පස්සේ. ඒක සතුටට කාරණාවක්,” මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසී ය.