– ජනපති
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA – Ceylon United Business Alliance) සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තවලට එල්ල වී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු මෙන්ම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සෙස් බද්ද, දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පවතින මානව සම්පත් හිඟය මෙන්ම අනීතික ලෙස මෙරටට පැමිණෙන භාණ්ඩ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ දේශීය වෙළෙඳපොළට පැමිණීම සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු විසඳා ගැනීමට අදාළ ආයතන සමඟ ඒකාබද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
බහාලුම් නිදහස් කර ගැනීම සහ එහිදී ඇති වන අකාර්යක්ෂමතාව මඟහරවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, අදාළ අංශ සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කෙරිණි.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරිහුද, ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර මහත්මිය ඇතුළු එහි සාමාජිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.