ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේ ය.
88 වන වියේ පසු වූ උන්වහන්සේ වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූහ.
2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය.
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවිය. කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වූහ.
උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූහ. සිරියාවේ උපන් III වන ග්‍රෙගරි පාප් වහන්සේ 741දී මිය ගිය දා සිට රෝමයේ යුරෝපීය නොවන රදගුරුවරයෙක් නොසිටියේ ය.
පාප් පදවියට පත්වූ පළමු ජේසු නිකායික පියතුමන් ද උන්වහන්සේ වූහ. ඉතිහාසය පුරා රෝමය ජේසු නිකායික පියතුමන්ලා දෙස බැලුවේ සැකයෙනි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ, වසර 600කට ආසන්න කාලයකදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් පළමු පාප් වහන්සේ වූ අතර දශකයකට ආසන්න කාලයක් වතිකානයේ පාප් වහන්සේලා දෙදෙනෙක් වූහ.
ආර්ජන්ටිනාවේ කාදිනල් බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේදී පාප් පදවියට පත්වන විටත් 70වන වියේ පසු වූහ.
නව පාප් වහන්සේ තරුණ අයෙකු වනු ඇතැයි බොහෝ කතෝලිකයන් උපකල්පනය කර ඇත.
බර්ගෝලියෝ කාදිනල් වහන්සේ සම්මුතිවාදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කෙරිණි: එනම්, සමාජ සාධාරණත්වය පිළිබඳ උන්වහන්සේගේ ලිබරල් ආස්ථානයෙන් ප්‍රතිසංස්කරණවාදීන් ආකර්ෂණය කර ගනිමින් ලිංගික කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් ඇති පුද්ගලයින්ගේ ද උන්වහන්සේ සිත් දිනා ගත්හ.
උන්වහන්සේගේ වෙනස් පසුබිම වතිකානය පුනර්ජීවනය කිරීමට සහ එහි ශුද්ධ මෙහෙවර ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
නමුත් වතිකාන නිලධාරිවාදය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රතිසංස්කරණ සඳහා ගත් ඇතැම් උත්සහයන් ප්‍රතිරෝධයට ලක්වූ අතර, 2022දී මියගිය උන්වහන්සේගේ පූර්වගාමියා සාම්ප්‍රදායිකවාදීන් අතර ජනප්‍රියතත්වයක් උසුලන්නට විය.

වෙනස් වීමට දැඩි අධිෂ්ඨානයක්
පාප් පදවියට තේරී පත්වූ මොහොතේ සිට, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඇඟවූයේ, උන්වහන්සේ වෙනස් ලෙස කටයුතු කරන බව ය. උන්වහන්සේ තම ආසනයේ අසුන් ගෙන නොව නැගී සිට සහ සම්ප්‍රදායෙන් බැහැරව තම කාර්දිනල්වරුන් පිළිගත් අයෙකු වූහ.
2013 මාර්තු 13 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රය දෙසට මුහුණ ලා ඇති බැල්කනියේ සිට රැස්ව සිටි ජනතාවට ආචාර කළහ.
සරලව සුදු ඇඳුමින් සැරසී සිටි උන්වහන්සේ 13 වන සියවසේ දේශකයෙකු සහ සත්ව ලෝලියෙකු වූ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමාට ගෞරවයක් වශයෙන් නව නාමයක් තෝරා ගත්හ.
උන්වහන්සේ අධිෂ්ඨාන කරගෙන සිටියේ උඩඟුකමට හා විභූතිය අභිබවා යමින් නිහතමානීකමට මුල් තැන දීමට ය. උන්වහන්සේ පාප් වහන්සේට හිමි ලිමොසින් රථය භාවිත නොකළ අතර ඒ වෙනුවට අනෙකුත් කාර්දිනල්වරුන් නිවසට රැගෙන යන බස් රථයේ ගමන් කිරීමට තෝරා ගත්හ.
නව පාප් වහන්සේ බිලියන 1.2ක් වූ කතෝලික භක්තියක් නව සදාචාරාත්මක මගක් ඔස්සේ ගෙන යාමට තීරණය කළහ. “අනේ, මම කැමති දුප්පත් පල්ලියකට දුප්පතුන්ට,” උන්වහන්සේ සඳහන් කළහ.

හොර්හේ මාරියෝ බර්ගෝලියෝ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී උපත ලැබීය. උන්වහන්සේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූහ.
උන්වහන්සේ ටැන්ගෝ නැටුම් කලාවට ප්‍රිය කළ අතර උන්වහන්සේ ආර්ජන්ටිනාවේ පාපන්දු සමාජයක් වන සැන් ලොරෙන්සෝහි ආධාරකරුවෙකු ද වූහ.
දරුණු නියුමෝනියා තත්ත්වයක් වැළඳීමෙන් පසු පෙනහලුවල කොටසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වෙමින් ජීවිතය ගලවා ගැනීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත වූහ. නමුත් එය උන්වහන්සේ තම ජීවිත කාලය තුළ ආසාදනවලට ගොදුරු වීමේ අවදානමකට පත් කළේ ය.
වැඩිහිටියෙකු වූ පසු ද උන්වහන්සේගේ දකුණු දණහිසේ වේදනා තත්ත්වයක් පැවති අතර උන් වහන්සේ එම තත්ත්වය විස්තර කළේ, “ශාරීරික දුර්වලතාවක්” ලෙසිනි.