සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්රදායක් බිඳ දමා ඇත.
ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය ඉතාලියේ ‘සන්ටා මරියා මජෝරේ’ ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරනු ඇත. එය විදේශ සංචාරවලට පෙර සහ පසු උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට ගිය දේවස්ථානයකි.
උන්වහන්සේගේ මෙම තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ එතරම් සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි උන්වහන්සේගේ ජීවිත කාලය පුරා ම පැවති අනුකම්පාවයි.
රෝමයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකදී හමුවන මෙම බැසිලිකාව පිහිටා ඇත්තේ, නගරයේ කම්කරු පන්තියේ ජනතාව වෙසෙන සහ විවිධත්වයෙන් පිරුණු කොටසක වන අතර, එහි චීන සුපිරි වෙළෙඳසැල්, අප්‍රිකානු කොණ්ඩා සැකසුම් ස්ථාන, ඉන්දියානු අවන්හල් සහ බංග්ලාදේශ සාප්පු සාම්ප්‍රදායික රෝමානු කැෆේ සහ ගෘහ නිර්මාණ ශිල්පය සමග මිශ්‍ර වී ඇති පරිසරයක ය.

සන්ටා මරියා මජෝරේ අවට වීදිවලදී හමුවන ජනයා තමන්ට සැබවින් සමීප වූ පාප් වහන්සේ කෙනෙකු ගැන හෘදයාංගමව අදහස් පළ කළහ.
ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ සාප්පුවක සේවය කරන අලමිම් මොහොමඩ් පැවසුවේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැසිලිකාවට පැමිණෙන ආකාරය තමා බොහෝ අවස්ථාවලදී දුටු බව ය.
“මට නිතර උන්වහන්සේගේ කටහඬ ඇහුණා,” වසර ගණනාවකට පෙර බංග්ලාදේශයේ සිට රෝමයට සංක්‍රමණය වූ අලමිම් පැවසීය.
“උන්වහන්සේ හරි ම මෘදු පුද්ගලයෙක්. උන්වහන්සේට හැම වෙලේ ම අවශ්‍ය වුණේ සාමය. ලොව පුරා සිටින සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් උන්වහන්සේ උන්වහන්සේගේ හඬ භාවිත කළා. පෞද්ගලිකව, මට හැඟෙන්නේ උන්වහන්සේ ඉතා ගුණවත් පුද්ගලයෙක් සහ ප්‍රිය ජනක පුද්ගලයෙක් කියලා.”

“එක් වරක්, මම උන්වහන්සේ නිසා ගොඩක් සතුටු වුණා,” ඇය සිනාසෙමින් පැවසුවා ය.
දීප්තිමත් වර්ණයක් සහිත හිස් ආවරණයක් පැළඳ සිටි නිවසක් අහිමි නයිජීරියාවේ සිට පැමිණි කාන්තාවක වන නැන්සි, දේවස්ථානය අසල සිඟමන් යදිමින් සිටියදී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තෙවරක් දුටු බව සිහිපත් කළා ය.
“මම මෙන්න මෙහෙම ශබ්ද කළා,” යැයි ඇය සඳහන් කළේ, අතින් කට වසාගෙන උස හඬක් නගමින් ඇය ශබ්ද කළ ආකාරය පෙන්වමිනි. එය සාමාන්‍යයෙන් මංගල උත්සව සහ සැමරීම්වලදී ඇසෙන සාම්ප්‍රදායික නයිජීරියානු ප්‍රීතිය ප්‍රකාශ කිරීමකි.
“මම උන්වහන්සේ වෙනුවෙන් ඒක කළේ. හැම කෙනෙක් ම මගේ දිහා බැලුවා. මම හරි ම සතුටින් හිටියේ,” ඇය පැවසුවා ය.
පාස්කු සඳුදා පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමේ යම් විශේෂත්වයක් නැන්සි දුටුවා ය.
“මේ පාස්කු කාලය. පාස්කු දවසේ ස්වර්ගස්ථ වන පාප් වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සන්නිවේදනය කරන්නේ,” ඇය පැවසුවාය. “මරණය ස්වාභාවිකයි. අපි ඒකට බය වෙන්න ඕන නෑ.”

සරල වටපිටාවක් තිබුණ ද, සන්ටා මරියා මජෝරේ යනු, රෝමයේ වඩාත් ම දර්ශනීය දේවස්ථානවලින් එකකි. නගරයේ උස ම, එහි ඇති ඝන්ටාර කුළුණ, දේවස්ථානයේ දිගු ඉතිහාසය දෙස බලා සිටී.
ඇමරිකාවෙන් ගෙන එන ලද රත්රන්වලින් සාදන ලද බැසිලිකාවේ දිලිසෙන සිවිලිම සහ එහි ඇති බයිසැන්තියානු මොසෙයික්, මුල් ක්‍රිස්තියානි යුගයේ සිට බැරොක් යුගය දක්වා ගමනකට අමුත්තන් රැගෙන යයි.
එහි තැන්පත් කර ඇති කෞතුක වස්තු අතර ජේසුස් වහන්සේ ඉපදුණු ගව ලෙනේ යැයි සැලකෙන කොටස් ද ඇත.
විශේෂයෙන් ම, දේවස්ථානයේ බිම් සැලැස්ම සාමාන්‍ය ක්‍රිස්තියානි කුරුසයකට වඩා රෝම පූජ්‍ය ස්ථානයකට සමාන ය. වසර 1,600කට පෙර ස්ථාපනය කරන ලද මෙය, රෝම දේවතාවිය වන ජූනෝ වෙනුවෙන් කැප කරන ලද පුරාණ පූජ්‍ය ස්ථානයක් අසල පිහිටා ඇති අතර, පුරාවෘත්තයට අනුව, අගෝස්තු මාසයේ ආශ්චර්යවත් ලෙස හිම පතනය වීමකින් පසුව එය ඉදි කර ඇත. එය කන්‍යා මරියතුමියගේ දිව්‍ය ලකුණක් යැයි කියනු ලැබේ.

බැසිලිකාව තුළ, ලොව පුරා සිට පැමිණි බැතිමතුන් විශාල පිරිසක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිහි කිරීම සඳහා යාච්ඤා කිරීමට රැස්ව සිටියහ
“මගේ පළමු වතාවට මෙහෙට එන. මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා,” පිලිපීනයේ සිට පැමිණි මේරි ග්‍රේස් පැවසුවා ය. “මිශ්‍ර හැඟීමක් මට දැනෙන්නේ – උද්වේගයක් වගේ ම දුකක්. සමහර විට මට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය මෙතන දැනෙන නිසා වෙන්න ඇති,” ඇය පැවසුවා ය.
අවසන් කැමැත්ත අනුව, පාප් වහන්සේ බැසිලිකාවේ පසෙකින් ඇති කොරිඩෝවක කුඩා ඉඩක මිහින්දන් කරන ලෙස ඉල්ලා සිටි අතර, එය දැන් සූදානම් කිරීම සඳහා පුවරු සවි කර ඇත.
සයිප්‍රස් ලී, ඊයම් සහ එල්ම්වලින් සාදන ලද මිනී පෙට්ටි තුනක පාප්වරුන්ගේ දේහ තැන්පත් කිරීමේ සාම්ප්‍රදායික පිළිවෙතට වෙනස්ව, උන්වහන්සේ මිහිදන් කෙරෙන සොහොන් ගෙය විශේෂ සැරසිලිවලින් සමන්විත නොවේ. එහි උන්වහන්සේගේ ලතින් නාමය ‘Franciscus’ ලෙස ලියවෙනු ඇත.
ග්‍රීසියේ සිට පැමිණි අයෙකු පැවසුවේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය එහි මිහිදන් කිරීමට ගත් තීරණය සුදුසු යැයි හැඟුණු බව ය.
“ඒක ඇත්තට ම තේජාන්විතයි. මම සිවිලිමට, රත්තරන්වලට, හැමදේට ම කැමතියි. නමුත් වටපිටාව හරි ම සැහැල්ලුයි,” ඔහු පැවසීය.
“ඇතුළත එතරම් සරල නැහැ. සුඛෝපභෝගී පෙනුමක් තියෙන්නේ. නමුත් වතිකානයට වඩා එය තෝරා ගැනීම නිහතමානී පියවරක්. ඒක වඩා ත් නවීන පන්නයේ තීරණයක්.
“මම කතෝලිකයෙක් නෙවෙයි, නමුත් මම ඇතුළේ හිටපු අයව දැක්කා. උන්වහන්සේගේ මරණය ගැන එයාලා ශෝක වෙනවා දැනුනා. ඔයාටත් ඒක දැනෙනවා ඇති,” ඔහු තවදුරටත් පැවසීය.

පාප් වහන්සේ පැවසුවේ, තම ප්‍රාර්ථනාවන් ජේසුස් වහන්සේගේ මව වන කන්‍යා මරිය තුමිය කෙරෙහි ඇති භක්තිය නිසා ඇති වූ බව ය.
“මම පාප් වහන්සේ වීමට පෙර සිට ම සාන්ත මේරි මේජර් බැසිලිකාව කෙරෙහි මහත් භක්තියක් තිබුණා,” ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේගේ 2024 El Sucesor (‘අනුප්‍රාප්තිකයා’) පොතේ පැවසූහ.
බැසිලිකාවේ උත්සව කටයුතුවල සහ පූජා කටයුතු සම්බන්ධ ප්‍රධානියා වන පියතුමා අයිවන් රිකූපෙරෝ ද ටයිම්ස් පුවත්පතට පැවසුවේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම පාප් පදවි කාලය තුළ 125 වතාවක් එහි පැමිණ ඇති බවත්, බොහෝ විට මල් රැගෙන ආ බව ත් ය.
1903දී ස්වර්ගස්ථ වූ XIII වන ලියෝ පාප් වහන්සේගෙන් පසු වතිකානයෙන් පිටත මිහිදන් කරන ලද පළමු පාප් වහන්සේ බවට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පත්වනු ඇත. උන්වහන්සේ මිහිදන් කළේ, වතිකානයේ පවුරු පිටුපස නොව, උන්වහන්සේ කිසි දා අමතක නොකළ මිනිසුන් අතර ය.