විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම් ජනපති අවධාරණය කරයි…….

‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති අවධාරණය කරයි

විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම්

‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති අවධාරණය කරයි

විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්වෙමිනි.

පාසල් දරුවන්ගේ සහ තරුණ ප්‍රජාවගේ ජිවිත බිලි ගනිමින් රටේ ආර්ථිකයත්, සමාජයත් විනාශ කරන ජාතික ව්‍යසනයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට තවදුරටත් ඉඩ තැබීමට තම රජය සූදානම් නොමැති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගම, ක්‍රීඩාව සහ සංස්කෘතිය යන සියලු ක්ෂේත්‍ර එක් කර ගනිමින් බහුවිධ වැඩසටහනක් ඔස්සේ “රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබෙන බවද පැවසීය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය ස්වභාවිකව නිර්මාණය වූවක් නොව, එය දිගු කලක් පුරා දේශපාලනඥයන්ගේ සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදයෙන් නිර්මාණය වූවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශපාලන රශ්මි කදම්භය හමුවේ ආරෝපිත බලයක් නිර්මාණය කර ගැනීමට අපරාධකරුවන්ට ඇති අවස්ථාව වත්මන් රජය අවසන් කර තිබෙන බැවින් සියලු සබඳතා අවසන් කර එම ජාලයෙන් ඉවත් වෙන ලෙස ඊට අනුබල දෙන රාජ්‍ය නිලධාරීන්ට තමා පවසන බව සඳහන් කළේය. මෙම ජාවාරමට සම්බන්ධ කිසිවෙකුට තවදුරටත් සැඟ වී සිටීමට අවස්ථාවක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ගම සහ ආගමික ස්ථාන අතර පවතින සංස්කෘතික සබැඳියාව භාවිතයට ගනිමින් මෙම උවදුර පිටුදැකීමට පෙරමුණ ගන්නා ලෙස ආගමික නායකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා, මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු පුවත් වාර්තාකරණයේදී හික්මීම සහ ශිෂ්ට සම්පන්න බව ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින්ද ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව එක් කර ගනිමින් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙරට විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධ සිදු වන බවද නිරීක්ෂණය වී තිබේ. කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම, පුළුල් මහජන සහභාගීත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් මගින් එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව රජය මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, එකී ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.

මෙම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීම අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

අප අද එක් රැස් වී සිටින්නේ අපේ රට වෙළාගෙන තිබෙන මායාකාරී ව්‍යසනය පරාජයට පත් කිරීමේ අරමුණින්. අප දන්නවා මේ ව්‍යසනය මොන තරම් ගැඹුරුද, මොන තරම් විනාශකාරීද කියලා. අපේ දරු පරම්පරාව, පොදු සමාජය මෙන්ම අපි ජාතියක් ලෙස මෙම මායාකාරි ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මෙම අභියෝගය අද මුළු සමාජ දේහයම ගිල ගෙන තිබෙනවා.මේ මංසන්ධියේදී නිශ්චිත ලෙස අපට තෝරා ගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි දේ ඒ අයුරින්ම සිදු වීමට ඉඩ දී පාඩුවේ සිටිමයි. එසේ නොමැති නම් මීට එරෙහිව හැප්පීමයි. මමත්, අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පීමට තීරණය කර තිබෙනවා.

මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගනිමින් තිබෙනවා. අපේ රටේ බන්ධනාගාරගත වන අයගෙන් 64%ක් මත්ද්‍රව්‍ය සහ සම්බන්ධ වැරදිවලට හසු වූ අයයි. ඒ වගේම දරුවන්ගේ මුළු අනාගතයම විනාශ කරමින් සිටිනවා. වයස අවුරුදු 18ත් 24ත් අතර හිරිමල් වයසේ සිටින තරුණ පරම්පරාව මෙහි විශාලතම ගොදුර බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ අනාගතය, අපේක්ෂා මහමඟ විනාශ වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට බලාගෙන සිටීමට අයිතියක් නැහැ. එම සෑම දරුවෙකුටම අම්මෙක්, තාත්තෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක් තුළම විශාල අපේක්ෂාවක් තිබුණා. හැබැයි, අද තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශ වෙමින් සිටිනවා. ඔවුන් එම වේදනාවෙන් පෙළෙනවා. අපවාදයට ලක් වී සිටිනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම පවුලේ විශාලතම ඛේදවාචකය වී තිබෙනවා.