වයිභව් සූර්යවංශි: ‘දිනකට පන්දු 600කට මුහුණ දෙන’ IPL ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා

සිය පළමු IPL ක්‍රිකට් තරගයේදී ප්‍රහාරාත්මක ඉනමක් ක්‍රීඩා කළ 14 හැවිරිදි ක්‍රීඩක වයිභව් සූර්යවංශි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ අවධානයට යොමුව තිබේ.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වයිභව් සූර්යවංශි තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. ඒ, ෂර්දුල් තාකූර් එවන ලද පන්දුවකටයි.

සූර්යවංශි, පන්දු 20කදී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය.

යසස්වී ජායිස්වාල් සමග එක්වෙමින් වෛභව් සූර්යවංශි, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 85ක් එක් කිරීමට සමත් විය.

සූර්යවංශි බිඳ දැමූ IPL වාර්තාව

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට වන වාර්තාව තමන් සතු කර ගැනීමට වයිභව් සූර්යවංශි සමත් විය.

ඔහු එහිදී බිඳ දැමුවේ, 2019 IPL තරගාවලියේදී RCB කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු ක්‍රීඩක ප්‍රයාස් රායි බර්මන් ගේ වාර්තාවයි.

ප්‍රයාස් රායි බර්මන් තම පළමු තරගය සඳහා ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 16යි දින 154ක් වූ අතර වයිභව් සූර්යවංශි සිය පළමු IPL තරගය ක්‍රීඩා කරන විට වයස අවුරුදු 14යි දින 23ක් විය.

වයිභව් සූර්යවංශි කියන්නේ කවුද?

සෞදි අරාබියේ ජෙඩාහි පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් බිහාර් ප්‍රාන්තය නියෝජනය කිරීමට 13 හැවිරිදි වයිභව් සූර්යවංශි වරම් ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර පැවති උණුසුම් ලංසු තැබීමකින් අනතුරුව වයිභව් සූර්යවංශි ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි විය.

ඔහුගේ දක්ෂතාවය පිළිබඳ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අවධානයට යොමු වූයේ පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයේදී පන්දු 58කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.