ලංගම: පෞද්ගලික මගී බස් ඒකාධිකාරියට එරෙහිව බිහි වූ බස්රථ සේවය

ශ්‍රී ලංකාවේ මගී ගමනාගමන බස්රථ සේවාවේ ආරම්භය වසර 100කටත් වඩා පැරණි අතීතයකට දිව යයි.

එදා පටන් පොදු ජනයාගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධාන මාධ්‍යයක් වූයේ ද බස්රථ ය.

ක්‍රමයෙන් ඇරඹි මගී ගමනාගමන බස්රථ සේවාව අද වන විට පෞද්ගලික සහ රාජ්‍ය අංශය (ලංකා ගමනාගමන මණ්ඩලය) යන දෙපාර්ශවයෙන්ම ක්‍රියාත්මක කෙරෙන අතර අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ දක්වා එය විකාශනය වී තිබේ.

උත්සව කාලවලදී පමණක් නොව රටේ විශේෂ අවස්ථාවලදී ද පොදු මහජනයාගේ ප්‍රවාහන සහකරු බවට පත්වන ලංගම ඇතැමෙක් “රතූ” යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබති.

ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රක්ත වර්ණයෙන් යුක්ත වීම නිසා ය.

දුම්රිය හා බස් රථ පොදු ප්‍රවාහනයට එක්වීම ආර්ථික වශයෙන් ද මෙරට දියුණුවට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේ ය.

පෞද්ගලික අංශයෙන් ඇරඹි පොදු ප්‍රවාහනය

ශ්‍රී ලංකාවේ මගී බස් රථ සේවාව 1907 වසරේ ආරම්භ වූ අතර හලාවත සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථයක් ධාවනයට එක් කරමින් පොදු ප්‍රවාහනය ඇරඹිණි.

එම වකාවානුවේදී මෙරට පෞද්ගලික බස් රථ සමාගම් රැසක් පැවති අතර ගාමිණී බස්රථ සමාගම, විජය බස්රථ සමාගම, හයිලෙවල් බස්රථ සමාගම, රණසිංහ බස්රථ සමාගම සහ කුකුළා බස්රථ සමාගම එලෙස පැවති සමාගම් අතරින් කිහිපයකි.

මෙම වකවානුවේ පෞද්ගලික අංශය සතුව පැවති බස් රථ ඒකාධිකාරය හේතුවෙන් මගීන්ට මෙන් ම බස් රථ සේවකයන්ට ද බොහෝ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇතැයි ඉතිහාසයේ සඳහන් ය.

ජන සතු වූ මගී බස් සේවය

අංක 22 ශ්‍රී 1087 දරන ප්‍රථම ජනසතු බස් රථය බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත

1958 දක්වා ම පෞද්ගලික බස් සමාගම්වල අණසක යටතේ පැවති මෙරට මගී ගමනාගමන බස්රථ සේවයට රජයට අයත් බස් රථ එක් වන්නේ 1957 අංක 48 දරන ගමනාගමන මණ්ඩල ආඥා පනත සම්මත වීමෙන් පසුව ය.

එවකට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පැවති විශේෂ උත්සවයකදී අංක 22 ශ්‍රී 1087 දරන බස් රථය ජන සතු බස් රථයක් ලෙස මගී ප්‍රවාහනයට එක් කර ඇති අතර එම බස් රථය අද වන විට බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

එම බස් රථයට ඇමතිවරයා ගොඩ වී ප්‍රවේශපත්‍රයක් මිල දී ගෙන ගමන් කිරීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ධාවනය ආරම්භ කර තිබේ.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1956 මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවකට අනුව මෙලෙස මගී ප්‍රවාහන බස් රථ ජනසතු කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලය ආරම්භ කර ඇති අතර එහි ප්‍රථම සභාපතිවරයා වූයේ වී.ඒ.එච්. ද මෙල් බව ලංගම ඉතිහාසයේ සඳහන් වේ.

එලෙස ජනසතු කරන ලද පළමු බස් රථය ධාවනය කර ඇත්තේ නිට්ටඹුව සහ කොළඹ අතර ය.

ජනසතු කරන ලද බස් රථ සියල්ල රතු පැහැගන්වා, ලංගම සංකේතය නිල් පැහැයෙන් සටහන් කරන ලදැයි ද ලංගම ඉතිහාසයේ සඳහන් කර ඇත.

අනිල් මුණසිංහ සභාපතීත්වය දැරූ 1977 වසර ලංගම ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර මෙකල ලංගම සිය ජාතික මෙහෙවර විවිධ අංශ හරහා ව්‍යාප්ත කර තිබී ඇත.

වේරහැර මධ්‍යම වැඩපළ ඉදිකිරීම, ගිංතොට, උඩුබද්දාව, කැප්පෙටිපොළ, කුරුණෑගල, ගාල්ල, මහනුවර, ඒකල ප්‍රාදේශීය වැඩපළ ඉදිකිරීම, මොරටුව බස්රථ නඩත්තු මධ්‍යස්ථානය ආරම්භ කිරීම, සංචාරක බංගලා ඉදිකිරීම, අලුතින් ඩිපෝ ආරම්භ කිරීම, රියැදුරු පුහුණු පාසැල් ඇරඹීම, තැපැල් සේවා ක්‍රියාත්මක කිරීම, භික්ෂූන් වහන්සේලා සඳහා කූපන් ක්‍රමයක් මගින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ටිකට් යන්ත්‍ර අලුත්වැඩියා මධ්‍යස්ථානයක් ඇරඹීම, කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම හා සමස්ත කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන ඇරඹීම ආදි වෙනස්කම් එකල රාශියක් සිදුව තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය, මධ්‍යම ගමනාගමන මණ්ඩලය ලෙස හා ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 9කට කොටස් කර විමධ්‍යගත කරන ලද්දේ 1978 වසරේ දී ය.

එම වසරේදී ම එතෙක් පැවති රජයේ ඒකාධිකාරය බිඳ දමමින් පෞද්ගලික අංශයට මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ යෙදීමට අවසර හිමි විය.

1987 අංක 23 දරන පණතට අනුව 1990 දෙසැම්බර් 18 දින බස් ඩිපෝ වෙන වෙන ම පාලනය වන සමාගමක් ලෙසට විමධ්‍යගත කර ජනතාසන්තක බස් සමාගම් බිහි වූ බව ලංගම ඉතිහාසයේ සඳහන් ය.

මීගමුව, රත්මලාන සහ මහනුවර දකුණ ඩිපෝ ආරම්භක ජනතාසන්තක සමාගම් විය.

ඉන්පසු ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත 1996 අංක 30 දරන සංශෝධන පනත මගින් සංශෝධනය කර ජනතා සන්තක බස් සමාගම් පොකුරු බස් සමාගම් බවට පත් වූ අතර පසුව 2005 අංක 27 දරන පනත මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත බිහි විය.

ඒ තුළින් නැවත මධ්‍යගත පාලනයට අනුගත විය. ඉන් පසු නැවතත් ශ්‍රී ලංගම සභාපතිවරයෙකු සහිත අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පාලනය වීම ඇරඹිණි.