මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය….

අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම්

– රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසීය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව සඳහන් කළේය.