නව භූමිකම්පාවක් ගැන අනාවැකි පළ කළ මියන්මාර TikTok ජ්‍යෝතීර්වේදියෙකු අත්අඩංගුවට

මියන්මාරයේ තවත් භූමිකම්පාවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරමින් නිකුත් කළ TikTok වීඩියෝවක් වෛරල් වීමත් සමග මහජනතාව අතර භීතියක් ඇති කිරීමේ චෝදනා මත එරට බලධාරීන් විසින් ජ්‍යෝතීර්වේදයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මියන්මාරයට බලපෑ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 3,500ක් මිය ගොස් සියවස් ගණනාවක් පැරණි බෞද්ධ විහාරස්ථාන විනාශ වී සති දෙකකට පසුව, අප්‍රේල් 9 වන දින ජෝන් මෝ ටික්ටොක් ඔස්සේ සිය අනාවැකිය පළ කළේ ය.

“මහජන භීතියක් ඇති කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රකාශ කිරීම” සම්බන්ධයෙන් ඔහු අඟහරුවාදා අත්අඩංගුවට ගත් බව මියන්මාරයේ තොරතුරු අමාත්‍යංශය පැවසීය.

අප්‍රේල් 21 වන දින “මියන්මාරයේ සෑම නගරයක ම භූමිකම්පාවක් සිදුවනු ඇතැයි” ජෝන් මෝ අනතුරු අඟවා තිබිණි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි ව්‍යසනවලට සම්බන්ධ සාධකවල සංකීර්ණත්වය නිසා භූමිකම්පා පිළිබඳ අනාවැකි කිව නොහැකි බව ය.

මිලියන තුනකට වඩා ඔන්ලයින් ඔස්සේ නරඹා තිබූ ජෝන් මෝගේ වීඩියෝවෙන්, ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ “භූ කම්පනය සමග ගොඩනැගිලි සෙලෙවෙන විට වැදගත් දේවල් රැගෙන පළා යන” ලෙසයි.

“මිනිස්සු දිවා කාලයේ උස් ගොඩනැගිලිවල රැඳී සිටින්න එපා,” යනුවෙන් වීඩියෝවේ සඳහන් කර තිබිණි.

යැංගුන්හි පදිංචි කාන්තාවක AFP වෙත පැවසුවේ, ඇගේ අසල්වැසියන් බොහෝ දෙනෙකු අනාවැකිය විශ්වාස කළ බව ය. ජෝන් මෝ භූමිකම්පාව සිදුවන බව පැවසූ දිනයේ ඔවුහු තම නිවෙස්වල රැඳී සිටීම ප්‍රතික්ෂේප කර පිටත කඳවුරු බැඳ ගත්හ.

300,000කට අධික අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින ඔහුගේ දැනට අක්‍රියව ඇති TikTok ගිණුම, ජ්‍යොතිෂය සහ හස්ත රේඛා ශාස්ත්‍රය මත පදනම්ව අනාවැකි පළ කරන බව කියා සිටී.

මධ්‍යම මියන්මාරයේ සගෙයිංහි ඔහුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 28 වන දින ඇති වූ භූමිකම්පාවෙන් මැන්ඩලේ සහ සගෙයිං ප්‍රදේශ දැඩි ලෙස හානියට පත් වූ අතර, එම නිසා මියන්මාර ජුන්ටාවෙන් විදේශ ආධාර සඳහා දුර්ලභ ඉල්ලීමක් ඉදිරිපත් විය.

එම භූමිකම්පාව කිලෝමීටර් 1,000ක් පමණ දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවර වෙත ද දැනුණු අතර, එහි ඉදි කෙරෙමින් පැවති ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් මිය ගියහ.