“නැමිච්ච ගමන් තමයි… උදේට ඇවිල්ලා නැමුණොත් ආයේ ඉතින් ලේසියෙන් නැගිටින්න බෑ. අපි පුළුවන් විදිහට ඒක කරලා තමයි ආයේ ඔළුව උස්සන්නේ. සෑහෙන්න මහන්සියක් අපි දරනවා. අපි කාටවත් දොස් පවරන්නේ නෑ, ජනතාව ටිකක් හිතන්න ඕනේ, එහෙම කරන්න හොඳ නෑ කියලා හිතන්න ඕනේ… අපි කරන දේවල් නිසා මේ අය මෙහෙම මහන්සි වෙනවා කියලා හිතන්න ඕනේ.”
මේ වචන අපට අසන්නට ලැබුණේ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කරන කටුගස්තොට ප්‍රදේශයේ ගොහාගොඩ කසළ අංගණයේ සේවය කරන කම්කරු කාන්තාවකගෙනි.
දේවී නම් ඇය සිය සහෝදරිය සමග වසර දෙකක කාලයක් තිස්සේ මෙම කසළ අංගණයේ කසළ වෙන් කිරීම් අංශයේ සේවය කරන අතර, ඇයගේ “සේවා කාලය තුළ වර්ගීකරණය කිරීමට සිදුවූ ලොකු ම කසළ ප්‍රමාණය” වර්ගීකරණය කිරීමට ඇයත් ඇයගේ සහෝදරියත් විශාල පරිශ්‍රමයක් දරමින් සිටින අයුරු ගොහාගොඩ කසළ අංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බීබීසී සිංහල කණ්ඩායමට දැක ගැනීමට හැකි විය.

ලොරි රථවලින් කසළ අංගණයට ගෙනැවිත් දමන මිශ්‍ර කසළ ඔවුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් දෑතින් වර්ග කරමින් සිටියහ.
ආසන්න දින කිහිපය තුළ උත්සන්න වූ මෙම තත්ත්වය හමුවේ දහවල් පමණක් නොව රාත්‍රියේ ද ඔවුන්ට සේවය කිරීමට සිදු වූ බව දේවී පැවසුවා ය.
“පොලිතින්වල පැටලිලා වැටිලා මම මේ කකුලේ බෙහෙත් බැඳගෙන තමයි වැඩ කරන්නේ,” ඇය පවසයි.
මේ මෙම ගොහාගොඩ කසළ අංගණයේ සේවය කරන එක කාන්තාවකගේ අත්දැකීම පමණි.
දිවා රාත්‍රී නොබලා ඔවුන්ට මෙලෙස විශාල පරිශ්‍රමයක් දරමින් සේවය කරන්නට සිදුවූයේ, අප්‍රේල් 27 වන දායින් අවසන් වූ ‘දළදා දැක්ම’ සඳහා මහනුවර නගරයට ඒකරාශී වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් බැහැර කරනු ලැබූ කසළ නියමිත පරිදි වර්ගීකරණයකින් තොරව බැහැර කර තිබීම හේතුවෙනි.

ලක්ෂ ගණනක් මහනුවරට
දැවැන්ත ජන සහභාගීත්වයක් සහිතව දින දහයක් පුරා පැවති ‘දළදා දැක්ම’ ආරම්භ කර දින කිහිපයක් ගත වන විට පාලනය කර ගැනීමට අපහසු තරම් බැතිමතුන් සංඛ්‍යාවක් මහනුවර නගරයට ඇදී ආ අතර, මහනුවර නගරයේ සිට කිලෝමිටර් ගණනාවක් ඈතට පෝලිම් විහිදී තිබිණි.
අම්පිටිය සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල බැතිමතුන් මාර්ගවල වැඩි ප්‍රමාණයක් රැඳී සිටීමත් සමග දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර, කසළ එකතු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ද එයින් බාධා ඇති විය.
කෙසේ වෙතත්, මෙලෙස මහනුවර නගරයට ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට විවිධ පරිත්‍යාගශීලින් විසින් දන්සැල් රාශියක් පැවැත්වූ අතර ප්‍රදේශයේ ඇති ඉස්ලාම් දේවස්ථානවල මෙම බැතිමතුන් සඳහා නවාතැන් පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම ද විශේෂත්වයකි.
මෙලෙස දැඩි තදබදයක් නිර්මාණය වීමත් සමග මහනුවර නගරය සහ ඒ අවට විශාල වශයෙන් කසළ එක්රැස් විය.
මෙම තත්ත්වය සලකා බලා තවදුරටත් බැතිමතුන්ට මහනුවර නගරයට ඇතුළුවීම නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දළදා දැක්මේ සංවිධායක කමිටුව තීන්දුවක් ගන්නා විටත් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් පෝලිම්වල රැඳී සිටියහ.
මහනුවර නගරයේ ඒ වන විට එක්රැස්ව තිබූ කසළ එකතු කිරීම සඳහා බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන් ද ඉදිරිපත් ව සිටි අතර, මෙම සියලු කසළ බැහැර කෙරුණේ, කටුගස්තොට ගොහාගොඩ පිහිටි කසළ අංගණයට ය.
ගොහාගොඩ කසළ අංගණයට කසළ බැහැර කිරීමට විරෝධය දක්වමින් මේ වන විට අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.
පසුගිය අප්‍රේල් 24 දින බීබීසී සිංහල විසින් මහ නගර සභාවේ ජල සහ අපජල ප්‍රධාන ඉංජිනේරු, ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ, බොහෝ කසළ වෙන් නොකරන ලද මිශ්‍ර කසළ වූ නිසා ඒවා බැහැර කිරීම සහ වර්ගීකරණය කිරීම සඳහා ගොහාගොඩ කසළ අංගණයේ කම්කරුවන් දිවා රාත්‍රී සේවයේ යෙදෙන බව ය.
කසළ අංගණයට පසෙකින් පිහිටා ඇත්තේ මහවැලි ගඟ යි.

අවසන් නොනිදන රාත්‍රිය
දළදා දැක්මේ අවසන් දිනට පෙර දින රාත්‍රියේ අප මහනුවර නගරයට ළඟා වන විටත් බොහෝ පිරිසක් පෝලිම්වල රැඳී සිටි අතර, රාත්‍රියේ ද මහනුවර මහ නගර සභාවේ සේවකයන් සහ ස්වේච්ඡාවෙන් කසළ එක්රැස් කරන පිරිස් කසළ එක්රැස් කරන ආකාරය දැක ගත හැකි විය.
රාත්‍රියේ වුව ද අතරින් පතර මග හැරුණු පුද්ගලයන්ගේ නම් නිවේදනය කරන හඬ ඇසෙමින් තිබිණි.
වැව රවුමේ බැතිමතුන් රැඳී සිටි පෝලිම් අසල විශාල ගමන් මලු ප්‍රමාණයක් ගොඩ ගසා තිබූ අතර, ඒවා දළදා දැක්ම සඳහා පැමිණි බැතිමතුන් අතහැර දමා ගොස් ඇති ගමන් මලු බවට ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරිනියක සමග කළ කතාබහකදී දැන ගැනීමට හැකි විය.
දළදා මාලිගාව ආසන්නයේ පිවිසුම් මාර්ග අසල මෙවැනි අතහැර දමා ගිය ගමන් මලු ගොඩ ගැසූ තැන් විශාල සංඛ්‍යාවක් තිබෙනු අපට දැක ගත හැකි විය.

එයට දෙවන නොවන පරිදි අතහැර ගිය සෙරෙප්පු ද තැන් තැන්වල විශාල වශයෙන් තිබිණි.
තදබදය අතිශය උත්සන්න අවස්ථාවේ නගරයේ කැලි කසළ ගොඩගැසී තිබුණු ආකාරයට කසළ නගරයේ දැක ගැනීමට නොහැකි වූ නමුත් තවදුරටත් බොහෝ දෙනෙකු කුණු බැහැර කර තිබුණේ කසළ වෙන් කිරීමකින් තොරව වූ නිසා ඒවා කසළ අංගණය වෙත ගෙන යාමට ලොරි රථවලට පැටවුණේ ද මිශ්‍ර කසළ ලෙස ය.
දළදා දැක්ම අවසන් වීමත් සමග බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මහනුවර නගර සීමාවේ කසළ ඉවත් කර තිබූ අතර, මහනුවර නගරයේ කසළ ගැටලුවට සැලකිය යුතු පිළිතුරක් ලැබී ඇති බවක් අප්‍රේල් 27 රාත්‍රිය වන විට පෙනෙන්නට තිබිණි.
නමුත් ඇත්ත වශයෙන් ම සිදුව තිබුණේ මහනුවර නගරය ආශ්‍රිතව පැවති කසළ ගැටලුව වෙනත් තැනක සැලකිය යුතු ගැටලුවක් බවට පත් වීම බව ගොහාගොඩ කසළ අංගණයේ නිරීක්ෂණ චාරිකාවේදී බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.