තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ආකෘතිය සහ සැලැසුම් යෝජනා පිළිබඳ සාකච්ඡාවක්…

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසින් දීපව්‍යාප්තව රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන යටතේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDS) හා කැළණිය විශ්ව විද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පිහිටුවීමට නියමිත තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ආකෘතිය සහ සැලැසුම් යෝජනා පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කලාපීය නවෝත්පාදන් දිරිගැන්වීම වෙනුවෙන් බිම් මට්ටමේ ඇති අදහස් සහ ශිෂ්‍ය නවෝත්පාදන වාණිජ වෙළඳපොළට සූදානම් ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීම මූලික අරමුණ වන අතර, ඒ හරහා ප්‍රදේශයේ වෙසෙන ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, පර්යේෂකයින් හා සිසුන් සඳහා තම නිෂ්පාදන හා සේවා වල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට මෙම සේවා මධ්‍යස්ථාන යොදා ගැනීමට අපේක්ෂිතය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අයත් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ප්‍රමුඛ ආයතන සහ කැළණිය විශ්ව විද්‍යාලය විසින් මෙම මධ්‍යස්ථානය සඳහා සාමූහිකව තාක්ෂණික සහයෝගය ලබාදීමට එම අවස්ථාවේදී එකඟ විය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ ලේකම් මොහමඩ් නවවි, අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, විද්‍යා හා කළමණාකරණ පීඨාධිපතිවරුන් ඇතුළු නිළධාරීන්, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එක්විය.