තනිකම ඔබට හොඳ ද? නරක ද?

තනිකම, දිනකට සිගරට් 15ක් පානය කිරීමෙන් ඇති වන මාරාන්තික සෞඛ්‍ය තර්ජනයට සමාන කළ හැකි බවට විස්තර කර තිබේ.

එහෙත් ඒ සමග ම, දිනකට අපගේ ස්මාර්ට් ෆෝන් හරහා පණිවිඩ සිය ගණනක් ලැබීමට තරම් අප හැම මොහොතක ම කෙනෙකුට ළඟා විය හැකි පුද්ගලයින් බවට පත්ව තිබේ. නමුත් මෙලෙස නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම කරදරයක් බවට පත් විය හැකි ය. එනම්, එය බොහෝ දෙනෙකු නිදහස සෙවීමට පොළඹවන කරුණක් විය හැකි ය.

එසේ නම්, මෙය සමබරව පවත්වාගෙන යා හැකි ද? බීබීසීය සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් අදහස් විමසීය.

හුදෙකලාව සහ තනිකම අතර වෙනසක් තිබේ ද?

එය යුග ගණනාවක් පැරණි ගැටලුවක් වුව ද, කොවිඩ් වසංගතය හමුවේ දිගුකාලීනව රටවල් වසා තැබීම සහ සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වීම වැනි සීමා කිරීම් හේතුවෙන් මිලියන ගණනකට තනිකම අභියෝගයක් බවට පත්විය. ඉන් නිවෙස් තුළ බොහෝ දෙනෙක් අතරමංව සිටියහ.

තනිකම යනු “ඔබ කැමති ප්‍රමාණයට වඩා වෙනස් ආකාරයේ සමාජ සම්බන්ධතා අඩු වූ විට” ඇති වන “ආත්මීය වශයෙන්, අප්‍රසන්න හැඟීමක්” බව එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හලාම් විශ්වවිද්‍යාලයේ තනිකම පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියා විග්ෆීල්ඩ් පවසයි.

විශේෂඥයින් යෝජනා කරන්නේ, ඔබේ පෞද්ගලික සබඳතාවල ගුණාත්මකභාවය ඔබ කැමති ප්‍රමාණයට වඩා දුර්වල යැයි ඔබට හැඟෙන විට එම හැඟීම මතු වන බව ය. නැතහොත්, ඔබ ඔබේ සබඳතා සම වයසේ මිතුරන් සමග සංසන්දනය කළහොත් ඔබේ මිත්‍රත්වය දුර්වල වීම යැයි අතෘප්තියට පත්වීම පහසුවෙන් සිදුවේ.

භෞතිකව හුදෙකලා වූ පුද්ගලයෙකුට ඉක්මනින් තනිකමක් දැනෙන්නට හැකි සේ ම සමූහයක් මැද සිටියදී පවා කෙනෙක්ට තනිකමක් දැනීම ද සත්‍යයකි. ඔබ එම ස්ථානයට අයිති නැති බව දැනීම හෝ ඔබේ සම්බන්ධතාවල ගුණාත්මකභාවය ශක්තිමත් නොවන බව දැනීම ඉක්මනින් එම ආත්මීය අප්‍රසන්න හැඟීම් ඇති කළ හැකි බව විග්ෆීල්ඩ් අනතුරු අඟවයි.

ඇතැම් භාෂාවල මෙම වචන දෙක සමාන අර්ථයෙන් භාවිත කළත්, හුදෙකලාව යන්නෙහි වෙනත් අර්ථයක් තිබේ. හුදෙකලාව යනු තාවකාලික තත්ත්වයක් වන අතර එය සන්සුන් බවක් ගෙන එනු ඇත.

හුදෙකලාව යනු ඔබ භෞතිකව තනිව සිටින සහ සමාජ මාධ්‍යවල කිසිවෙකු සමග අන්තර් ක්‍රියා නොකරන කාල පරිච්ඡේදයක් විය හැකි යැයි, එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ ‘Solitude Lab’ හි ප්‍රධාන පර්යේෂක සහ මනෝවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ටුයි-වී ගුයෑන් පැහැදිලි කරයි.

තනිකම ඔබේ ශරීරයට බලපාන්නේ කෙසේ ද?

තනිකම ඔබේ සෞඛ්‍යයට අහිතකර ය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ, එය හෘද රෝග, ආඝාතය, දෙවන වර්ගයේ දියවැඩියාව සහ ආසාදනවලට ගොදුරු වීමේ අවදානම වැඩි කිරීම සමග සම්බන්ධයක් ඇති බව ය.

තනිකම, ඩිමෙන්ෂියාව; විෂාදය; කාංසාව සහ සමස්ත මරණ අවදානම ඉහළ දැමීමට හේතු විය හැකි බවට සාක්ෂි වැඩිවෙමින් පවතින බව විග්ෆීල්ඩ් පැවසීය.

මෙම සම්බන්ධය පිටුපස ඇත්තේ කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. වෛද්‍යවරුන් සිතන්නේ, එයට හේතුව ආතතිය වැඩි වීම සහ හුදෙකලා වීම නිසා සංජානන උත්තේජන නොමැතිකම විය හැකි බව ය. එමගින් මානසික සෞඛ්‍ය තත්ත්වය තවත් උග්‍ර වන බවට ඔවුහු විශ්වාස කරති.

එහෙත්, තනිකමේ පරිමාණය පැහැදිලි ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු සමාජයීය වශයෙන් හුදෙකලා වී ඇති බවත්, නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 5-15%ක් තනිකමට මුහුණ දෙන බව ත් ය.

ඔබේ වයසට අමතරව, විශේෂිත කණ්ඩායම් ද තනිකමට පත්වීමේ අවදානම වැඩි කරයි: සංක්‍රමණිකයන්; වාර්ගික සුළුතරයන්; සරණාගතයින්; LGBTQ+ පුද්ගලයින්, රැකබලා ගන්නන් සහ අමතර ලෙඩ රෝග තත්ත්වයන් ඇති පුද්ගලයෝ ඔවුන් අතර වෙති.

තනිකම ජය ගන්නේ කෙසේ ද?

මෑත වසරවලදී, පුළුල්ව වාර්තා වන තනිකම පිළිබඳ මෙම ගැටලුවට මුහුණ දීම සඳහා රජයයන් පියවර ගෙන ඇත. සෞඛ්‍ය සේවා, සමාජ ආරක්ෂණය සහ ආර්ථිකය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක වියදම් ඇති කර බැවින් එය දේශපාලන න්‍යාය පත්‍රවලට පවා ඇතුළත් වී තිබේ.

පර්යේෂණවලින් පෙනී යන්නේ, මින් වැළකීමට ස්වේච්ඡා සේවය ඵලදායී උපාය මාර්ගයක් විය හැකි බව ය. හොංකොංහි, ප්‍රජා ස්වේච්ඡා සේවකයින් 375 දෙනෙකු සම්බන්ධ අධ්‍යයනයකින් පෙනී ගියේ, ඔබ විශ්වාස කරන අරමුණක් සඳහා ඔබේ නිදහස් කාලය පරිත්‍යාග කිරීමෙන්, විශේෂයෙන් වැඩිහිටියන් තුළ තනිකම සමනය කළ හැකි බව ය.

මේ අතර, ඒ වෙනුවට ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය, විවිධ පරම්පරා නියෝජනය කරන පුද්ගල කණ්ඩායම් මුසු කිරීම සඳහා ආයෝජනය කරන වෙනස් ප්‍රවේශයක් ගනිමින් සිටී. එමගින් වැඩිහිටි හා තරුණ පරම්පරාවන් ප්‍රජා මධ්‍යස්ථාන හෝ නිවාසවල පොදු අවකාශයන්හි එකට කාලය ගත කිරීමට දිරිමත් කරනු ලැබේ.

එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් ඖෂධ නියම කිරීම වෙනුවට, අතිශයින් හුදෙකලා යැයි සැක කරන රෝගීන් ජනතාව හා සම්බන්ධ කෙරෙන සේවාවන් වෙත යොමු කළ හැකි “සමාජ නිර්දේශ කිරීමේ” ක්‍රමය ද වර්ධනය වෙමින් පවතී.

ළමා හා නව යොවුන් මනෝචිකිත්සක හොලාන් ලියැං, සමාජීය දෘෂ්ටිකෝණයකින් පැහැදිලි කරන්නේ, සෑම කෙනෙකුට ම ස්ථානයක් සහ අරමුණක් ඇති, සහයෝගීව කටයුතු කරන විවෘත මනසක් සහිත ප්‍රජාවන් ගොඩනැගීම තැත වඩාත් අර්ථවත් බව ය.

“අන් අය ගැන සොයා බැලීම, කරුණාව ප්‍රවර්ධනය කිරීම සහ අන් අයට උපකාර කිරීම තනිකම වළක්වා ගැනීමට උපකාරී වෙනවා,” A Sense of Belonging ග්‍රන්ථයේ කතුවරිය ද වන ලියැං පවසයි.

විශේෂඥයින් බීබීසීයට පැවසුවේ, පෞද්ගලික මට්ටමින්, පුළුල් වශයෙන් ගත් කල, සෑම කෙනෙකු ම තමන්ගේ තෘප්තිය සහ තම සබඳතා සහ මිත්‍රත්වයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බව ය. දුක පිළිබඳ නිරන්තර හැඟීම් සහ සමාජගත වීමට හෝ නිවසින් පිටව යාමට ඇති ආශාව අඩු වීම වැනි තනිකමේ ලකුණු ගැන විමසිල්ලෙන් සිටිය යුතු ය. අනතුරු ඇඟවීමේ ලකුණු අතරට වෙන්වීමේ හැඟීමක් ද ඇතුළත් විය හැකි ය. එනම්, අන් අය සමග හෝ ඔබ වටා ඇති ස්ථාන සහ අවකාශයන් සමග සම්බන්ධයක් නොමැතිකම වැනි හැඟීමකි.

A person hiking reaching the top of a mountain
ඡායාරූප ශීර්ෂ වැකිය,අන්තර් සම්බන්ධිත සමාජයීය විශේෂයක් වන අපි බොහෝවිට තනිකම ප්‍රතික්ෂේප කරන්නෙමු.

හුදෙකලාව පිළිබඳ ඍණාත්මක ආකල්පයක් තිබේ ද?

සමාජයීය සත්ව විශේෂයක් ලෙස මිනිසුන් පැවැත්ම සඳහා යම් නීතිරීතිවලින් බැඳි එකිනෙකා සමග බැඳී සමාජ ජාලයක් මත විශ්වාසය තබන බව මහාචාර්ය ගුයෑන් අවධාරණය කරයි.

මෙහි කොටසක් ලෙස “අපි සමාජ අන්තර්ක්‍රියාවල වැදගත්කම සහ එකට සිටීම ඉස්මතු කිරීමට නැඹුරු වෙනවා. ඒ අර්ථයෙන් ගත්තා ම, හුදෙකලාව ඍණාත්මක ආකල්පයක් බවට පත් වෙනවා.” ඇය පවසයි.

එක්සත් රාජධානියේ රීඩින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළි වූයේ, හුදෙකලාවේ අවස්ථා යහපැවැත්මට වාසි සහ අවාසි යන දෙක ම ගෙන දිය හැකි බව ය. පර්යේෂකයෝ වැඩිහිටියන් 178 දෙනෙකු දින 21ක් දක්වා කාලයක් අධ්‍යයනය කළහ. මෙම කාල පරිච්ඡේදය තුළ, සහභාගිවන්නන්ට ඔවුන්ගේ ආතතිය, ජීවින තෘප්තිය, ස්වාධීනත්වය සහ තනිකම මැනීම සඳහා දිනපොතක සටහන් කිරීම සහ ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමට සිදුවිය.

තනිව ම වැඩිපුර පැය ගණනක් ගත කිරීමෙන් ආතතිය අඩු වීම, තෝරා ගැනීමේ සහ තමන් ගැන සිතීමට ඇති නිදහස පිළිබඳ හැඟීම් වැඩි කරවන බව මෙම අත්හදා බැලීමෙන් හෙළි විය. එහි කතුවරුන්ට අනුව, හුදෙකලා බවේ “සන්සුන් බලපෑමක්” එමගින් ඇති වේ.

කෙසේ වෙතත්, වැඩි පැය ගණනක් තනිව ම ගත කළ දිනවල, සහභාගිවන්නන් තනිකමක් හෝ අඩු තෘප්තියක් දැනෙන බව වාර්තා කළහ.

A person putting a plant in a pot
ඡායාරූප ශීර්ෂ වැකිය,විශේෂඥයින්ට අනුව, ගෙවතු වගාව යනු හුදෙකලාව සෞඛ්‍ය සම්පන්නව ගත කිරීමට ඇති ක්‍රියාකාරකම්වලින් එකකි.

ඔබට ම ආවේණික වූ අර්ථවත් අවස්ථා සොයා ගන්නේ කෙසේ ද?

සාක්ෂිවලින් පෙනී යන්නේ, හුදෙකලා බව චිත්තවේග නියාමනය සඳහා අවකාශයක්, නිදහස පිළිබඳ හැඟීමක් සහ ස්වාධීනත්වයක් ලබා දෙන බව ය. එසේ නම්, අප වැඩි ආතතියක් අත්විඳින අවස්ථාවන්හිදී හෝ බොහෝ දේ සිදුවන බව ඔබට හැඟෙන දිනයකදී භාවිත කිරීමට එය විශේෂයෙන් ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි ය.

ඒ අනුව, හුදෙකලාව වඩා හොඳ මානසික සෞඛ්‍යයක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කර ගැනීමට සහය විය හැකි ය. නමුත් තනිව කාලය ගත කිරීම ඇතැම් අයට අධික බරක් විය හැකි ය.

ඔබ දුරකතන සහ පරිගණක තිරවලින් ඈත්වී කාලය ගත කරන විට තනිව ගත කරන කාලය ද ඒත් සමග “පුරුද්දක්” බවට පත් කර ගන්නැයි මහාචාර්ය ගුවෑන් නිර්දේශ කරයි.

“හුදෙකලා බවින් ප්‍රයෝජන ගන්නේ කොහොම ද කියලා මිනිස්සු මගෙන් අහන හැම වෙලාවක ම මම නිර්දේශ කරන එක් දෙයක් තමයි, දවසකට මිනිත්තු 15කින් වගේ පොඩියට ආරම්භ කරන්න කියන එක,” ඇය පවසයි.

මෙම කෙටි කාලය තුළ, ඔබට හැඟෙන ආකාරය, ඔබ කිරීමට කැමති දේ නිරීක්ෂණය කළ හැකි අතර, දින ගෙවී යත් ම, මෙම හුදෙකලා කාලය මිනිත්තුවෙන් මිනිත්තුව වැඩි කරමින් පුළුල් කිරීමට පටන් ගත හැකි ය.

“සමහර වෙලාවට ඔවුන් තිරයක් මත ගත කරන කාලය, සමාජ මාධ්‍ය භාවිතය දින ගණනකින් අඩු කරන්න. මේකෙන් අපහසුතාවක් ඇති වෙන්න පුළුවන් වගේ ම අනාගතයේදී ඔබට එය නැවත උත්සහ කිරීමට අවශ්‍ය නොවේවි,” ඇය පැහැදිලි කරයි.

නමුත් සීමාවක් තිබේ ද?

රීඩින් විශ්වවිද්‍යාලයේ දත්තවලින් හෙළි වූයේ, මිනිසුන් වැඩි පැය ගණනක් හුදෙකලාව ගත කරන දිනවල තනිකම සහ තෘප්තිමත්භාවය අඩු බව ය. මෙම දෛනික තනිකම තෝරා ගැනීමක් වූ විට පවා මෙම හැඟීම් අඩු හෝ වැඩි වීමක් සිදු නොවිණි.

ගුවෑන්ට අනුව, එහි සමබරතාව පැය ගණනකින් ගණනය කළ නොහැකි අතර එය ගුණාත්මකභාවය අනුව දැකිය යුතු ය.

අපි අවදිව සිටින පැයවලින් 75%ක් තනිව සිටින විට තනිකම ආරම්භ වන බව ඇතැම් පර්යේෂණවලින් පෙනී යන බව ඇය පෙන්වා දෙයි.

“නමුත් මෙය සැබවින් ම රඳා පවතින්නේ එක් එක් පුද්ගලයාගේ මූලික මට්ටම සහ ඔබට සෑම දිනක ම දැනෙන ආකාරය මත යි,” ඇය සිතයි.

මෙම තනිව සිටින මිනිත්තු කිහිපය තුළ කුමක් කළ යුතු ද?

විශේෂඥයින් යෝජනා කරන්නේ, උත්තේජනක් ලබා දෙන මෙන් ම විවේකය සහ සහනයක් ලබා දෙන ක්‍රියාකාරකම් සොයා ගැනීමට ය.

කියවීම, ගෙවතු වගාව, එළිමහනේ ඇවිදීම, සංගීතයට සවන් දීම, ඉවුම් පිහුම් සහ අත්කම් නිර්මාණ වැනි පොදු විනෝදාංශ සහ ක්‍රියාකාරකම් කිහිපයක් තනිව සිටින කාලයේදී තනිකම නොදැනී කාලය ගත කිරීමට උපකාරී වේ.