ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල

නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති

ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (27) පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී එක් වෙමිනි.

ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය සහ සංස්කෘතික වශයෙන්ද දියුණු වූ රටක් ගොඩනැගිය යුතු බවත්, සමාජය තුළ ගිලිහී යන සියලු සදාචාරාත්මක ගුණාංග යළි කැඳවාගෙන ඒම වෙනුවෙන් රටේ සියලු ක්ෂේත්‍රයන්හි නව පුනරුදයක් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සබැඳියාව යළි තහවුරු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කර දීමේ වගකීම රජය ඉටු කරන බවද සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනඟන අතරම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති සහ අනෙකුත් දුෂ්කරතාවලින් පෙළෙන තෝරාගත් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රජයෙන් දායකත්වය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.