කොළඹ නගරයේ රථ වාහන වැරදි සොයන CCTV කැමරා සවි කර ඇති ස්ථාන මොනවා ද?

තම පෞද්ගලික කාර්යක් සඳහා යතුරු පැදියෙන් කොළඹට ගොස් නැවත තම නිවසට පැමිණි පුද්ගලයකුට ඉන් දින කිහිපයකට පසුව රථ වාහන වරදක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හක්මන පොලිසියට පැමිණෙන ලෙස දන්වමින් ලැබී ඇති ලේඛණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

එම ලේඛණයේ අදාළ තැනැත්තා පොලිසිය හමුවට කැඳවීමට හේතු වූ වරද, වරද සිදුකළ දිනය සහ වේලාව මෙන්ම යතුරු පැදියේ අංක තහඩුව සහිත ඡායාරූපයක් ද වේ.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පසුගිය වසරේ සිට ආරම්භ කරන ලද, CCTV ඔස්සේ රථ වාහන වැරදි සෙවිමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බීබීසී සිංහල විසින් සොයා බැලීමක් කරන ලදී.

නිකුත් කර ඇති දඩ පත්‍රිකා ප්‍රමාණය

පසුගිය වසරේ පෙබරවාරි 01 වැනිදා සිට මෙම වැඩසටහන ආරම්භ කළ අතර එතැන් පටන් 2025 වසරේ අප්‍රේල් 20 වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයින් 4,048 දෙනෙකු සඳහා දඩ පත්‍රිකා නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

CCTV කැමරා 111ක් පමණ යොදා ගනිමින් මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතර ඊට අමතරව පොලිස් ජංගම නිරීක්ෂණ රථ ද මේ සඳහා යොදා ගැනේ.

රථ වාහන වැරදි සිදුකරනු ලබන පුද්ගලයාගේ වාහනය ලියාපදිංචි කර ඇති ලිපිනය අයත් වන පොලිස් ස්ථානයට අදාළ වරද පිලිබඳ දැනුම් දීමෙන් පසුව එම පොලිස් ස්ථානය මගින් රියදුරුට දඩ පත්‍රිකා නිකුත් කිරීම සිදුකරනු ලැබේ.

CCTV වලින් වාහන නිරීක්ෂණය කරන ස්ථාන මොනවාද?

බොරැල්ල මංසන්ධිය, විලියම් මංසන්ධිය, ආමර් වීදිය මංසන්ධිය, බේස්ලයින් මංසන්ධිය, හෙට්ටියාවත්ත මංසන්ධිය සහ දෙමටගොඩ මංසන්ධිය යන ස්ථාන වල CCTV ඔස්සේ රථ වාහන නීති උල්ලංඝණය කරන පුද්ගලයින් නිරීක්ෂණ කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත සඳහන් කළේය.

වාහනේ අයිතිය පවරාගෙන නැති ද?

මෙම වැඩසටහන ආරම්භ කරමින් CCTV නිරීක්ෂණ හරහා දඩ නිකුත් කිරීමේ ක්‍රමය තුළ අලෙවියෙන් පසු නිසි පරිදි වාහනවල අයිතිය පවරා නොමැති පුද්ගලයින්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසා තිබිණි.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැහැදිළි කර තිබුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ලක්ෂ 82ක් පමණ පවතින අතර ඉන් 12%ක් අලෙවියෙන් පසු නිසි පරිදි අයිතිය පවරා නොමැති බවයි.

ඒ අනුව නිසි පරිදි රථ වාහන අයිතිය පවරාගෙන නොමැති 241 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට 2018 වසරේ දී පොලිසිය උත්සාහ කරන ලද නමුත් එය ක්‍රියාවට නැංවීමට හැකි වුයේ 2024 වසරේ සිටයි.

ඔන්ලයින් දඩ ගෙවන්න පුළුවන් කොහොමද?

මේ අතර ඔන්ලයින් සේවාව ඔස්සේ රථවාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව ද මේ වන විට ජනතාවට ලබා දී ඇති අතර Gov Pay ඔස්සේ ජංගම බැංකු යෙදුම් හෝ අන්තර්ජාල බැංකු හරහා එම දඩ මුදල් ගෙවිය හැකිය.

මෙහි නියමු ව්‍යාපෘතිය දැනට කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ඇති පොලිස් ස්ථාන 11ක් ආශ්‍රිතව ක්‍රියාත්මක අතර ඉදිරියේ දී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.