ඊළඟ පාප් වහන්සේ අප්‍රිකානු ජාතිකයෙක් ද?

ඊළඟ පාප් වහන්සේ කොහේ සිට පැමිණෙනු ඇත්දැයි පුරෝකථනය කිරීමට පාදක වන්නේ කතෝලික පල්ලියේ වර්ධනය පමණක් නම්, උන්වහන්සේ අප්‍රිකානු ජාතිකයෙකු වීමට ඉඩ තිබේ.

ලොව වේගයෙන් ම වර්ධනය වන කතෝලික ජනගහනය සිටින්නේ අප්‍රිකාවේ ය. එය 2022 සහ 2023 වසර දෙකක කාලය තුළ 3.31%කින් වැඩි වී ඇත. වතිකානයේ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, ලෝකයේ කතෝලිකයන්ගෙන් 20%ක් ජීවත් වූයේ එම මහාද්වීපයේ බව ය.

ඊට පරස්පර ලෙස, යුරෝපය එම කාලය තුළ 0.2%ක අඩු ම වර්ධනයක් පෙන්නුම් කළේ ය. 1910 සිට 2010 දක්වා කාලය තුළ යුරෝපයේ කතෝලිකයන්ගේ සංඛ්‍යාව 63%කට වඩා අඩු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් පිව් පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. කලක් ක්‍රිස්තියානි ධර්මයේ හදවත ලෙස සැලකූ මෙම කලාපය දැන් ලෝකයේ වඩාත් ම ආගමික නොවන කලාපයක් බවට පත්ව ඇත.

කතෝලික පල්ලිය තවමත් ලතින් ඇමෙරිකාවේ බලවත් වුවත්, එහි ජනප්‍රියතාව බොහෝ රටවල එවැන්ජලිස්ත ක්‍රිස්තියානි ධර්මය හමුවේ යටපත් වෙමින් පවතී. කලාපයේ රටවල් 18ක් පුරා ‘ලතිනෝබරෝමෙත්‍රෝ’ විසින් 2022දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, කතෝලිකයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් සංඛ්‍යාව 2010දී 70% සිට 2020දී 57% දක්වා පහත වැටී ඇති බව ය.

ඊළඟ පාප් වහන්සේ වෙනුවෙන් ඡන්දය ලබා දෙන කාර්දිනල්වරුන් එනම්, කාදිනල්-ඡන්ද දායකයින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට වතිකානයේදී රැස්වන විට, අපේක්ෂකයා පැමිණෙන්නේ කිනම් කලාපයකින් ද යන වග උන්වහන්සේලාගේ තීරණ ගැනීමේ කොටසක් විය යුතු ද?

නයිජීරියානු කතෝලික පූජකවරයෙකු සහ ඩිපෝල් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන ස්ටෑන් චූ ඉලෝ පියතුමන් එලෙස සිතයි.

“අප්‍රිකානු පාප් වහන්සේ කෙනෙක් ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා,” උන්වහන්සේ මා හා පවසන්නේ පල්ලියේ නායකත්වය ගෝලීය වශයෙන් ද සිය සභාවේ සාමාජිකයින් නියෝජනය කළ යුතු බවට තර්ක කරමිනි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2013දී තේරී පත් වූ විට 9%ක් වූ තම අනුප්‍රාප්තිකයාට ඡන්දය දෙන උපසහරා අප්‍රිකාවේ කාදිනල්වරුන්ගේ අනුපාතය 2022දී 12% දක්වා ඉහළ නංවා තිබේ. නමුත් චූ ඉලෝ පියතුමන් පවසන්නේ, ඔවුන් අප්‍රිකාවෙන් පැමිණි කෙනෙකුට ඡන්දය දෙන බව එයින් අදහස් නොවන බව ය.

උන්වහන්සේ පවසන්නේ කාර්දිනල්වරුන් දැනටමත් හොඳින් දන්නා හඳුනන කෙනෙකු තෝරා ගැනීමට ඉඩ ඇති බවයි: “දැනටමත් බලගතු හඬක් ඇති කෙනෙක්.”

“අභියෝගය තමයි අද වතිකානුවේ කිසිදු වැදගත් තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ අප්‍රිකානු පූජකයෙකු නොමැති වීම, අන්න ඒක ගැටලුවක්.

“පාප් පදවියට පත්වීමට ඉඩක් ඇති අප්‍රිකානු කාදිනල්වරුන් ගැන ඔබ සිතනවා නම්, අද ගෝලීය කතෝලික ධර්මය තුළ කැපී පෙනෙන්නේ කවුද? පිළිතුර කිසිවෙකුත් නොවේ.”

මෙය, ඝානාවේ පීටර් ටර්ක්සන් කාදිනල් හිමි එම තනතුර සඳහා ප්‍රබල තරගකරුවෙකු වූ 2013ට සහ නයිජීරියානු කාදිනල් ෆ්‍රැන්සිස් අරින්ස් XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ තේරී පත්වීමට හේතු වූ රහස් සභාවේදී විභව අපේක්ෂකයෙකු වූ 2005ට වඩා වෙනස් බව චූ ඉලෝ පියතුමා පවසයි.

“අප්‍රිකානු මහාද්වීපය සහ කතෝලික පල්ලිය අතර තියෙන සම්බන්ධතාවත් එක්ක මේ තත්ත්වයට පැමිණ ඇති ආකාරය තවමත් අප බොහෝ දෙනෙකු පුදුමයට පත් කරන දෙයක්. ෆ්‍රැන්සිස් පාප්තුමා අප්‍රිකාවට දක්වන විවෘතභාවය සැලකිල්ලට ගත්තා ම,” චූ ඉලෝ පියතුමා පවසයි.

‘මතුපිටට සීමා වුණු සාධාරණත්වය’

අප්‍රිකාවෙන් අවම වශයෙන් පාප්වරුන් තිදෙනෙකු පත්ව සිටිය ද, අවසාන පාප් වහන්සේ එනම්, I ජෙලාසියස් පාප් වහන්සේවසර වසර 1,500කට පෙර මිය ගියහ. ඒ අනුව, තවත් අප්‍රිකානු පාප් වහන්සේ කෙනෙකු සඳහා කාලය පැමිණ ඇති බවට බොහෝ දෙනෙක් තර්ක කරති.

නමුත් ඇතැම් අප්‍රිකානු කතෝලිකයන් සිතන්නේ, ඊළඟ පාප් වහන්සේ කොහේ සිට පැමිණිය හැකි ද යන්න පිළිබඳව ඕනෑවට වඩා අවධානයක් යොමු කරන බව ය. නොට්‍රේ ඩාම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන, නයිජීරියාවේ උපන් කතෝලික පූජකයෙකු වන පියතුමා පෝලීනස් ඉකේශුකූ ඔඩෝසෝ වැන්නවුන් එලෙස සිතයි.

“ඔබ අප්‍රිකාවෙන් පැමිණි පමණින් හෝ යුරෝපයෙන් පැමිණි පමණින් ඔබ තේරී පත් වෙන්න වැඩි ඉඩක් තිබෙන අපේක්ෂකයා යැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ,” ඔහු මා හා පවසයි.

“ඔබ කොහේ සිට ආවත්, ඔබ තේරී පත් වූ වහා ම, සෑම කෙනෙකුගේ ම ගැටලු ඔබේ ගැටලු බවට පත් වෙනවා. ඔබට ඇත්තේ එක අරමුණක්, මිනිසුන් කොතැනක සිටියත්, ඔවුන් කොපමණ සංඛ්‍යාවක් සිටියත්, ඔවුන් කුමන සන්දර්භයක් තුළ සිටියත්, ක්‍රිස්තුස් වහන්සේගේ සමාජය ගොඩනැගීම.”

ඔහු පවසන පරිදි වැදගත් ම දෙය නම් පාප් වහන්සේ “පල්ලියේ ප්‍රධාන දේවධර්මධරයා විය යුතු” බව ය.

“පාප් වහන්සේ සම්ප්‍රදාය හොඳින් දන්නා කෙනෙකු විය යුතු” බව ත්, එය භාවිතා කර මිනිසුන්ට මග පෙන්වීමට ඔහුට හැකි බව ත් ඔහු සිතයි.

Catholics cheering for Pope Francis at an open air mass in Kinshasa, DRC
ඡායාරූප ශීර්ෂ වැකිය,2023දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සංචාරයක නිරත වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පවත්වන ලද එළිමහන් දේව මෙහෙයකට මිලියන 1ක ජනතාවක් සහභාගී වූ බවට ගණන් බලා ඇත

“මතුපිටට සීමා වුණු සාධාරණත්වයක්” වැනි යමක් බැවින් ඊළඟ පාප් වහන්සේ අප්‍රිකාවෙන් පත් විය යුතු ද යන්න විමසීම කලකිරීමට කරුණක් බව ඔඩෝසෝ පියතුමා පවසයි.

“මිනිස්සු කියනවා වගේ, ‘හරි, අප්‍රිකානුවන් මෙච්චර ගාණකින් වැඩි වෙනවා, ඉතින් ඇයි අපි එයාලට පාප් කෙනෙක් දෙන්නේ නැත්තේ’ කියලා.”

ඔහුගේ අදහසට අනුව, අප්‍රිකාවේ ඇදහිලිවන්තයන්ට බලපාන කරුණු වතිකානයේ බලතල දරන අය විසින් බැරෑරුම් ලෙස සලකනු ලබන බව සහතික කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු ය.

ඇතැම් අවස්ථාවලදී, “අප්‍රිකානුවන් වැදගත් නැහැ වගේ දැනෙනවා, නැත්නම් ඔවුන්ගේ ඇදහිල්ල ටිකක් පහත් හෝ ව්‍යාජ එකක් ලෙස දකිනවා වගේ, ඒ වගේ ම එය බැරෑරුම් ලෙස නොසැලකිය යුතුයි කියලා වගේ,” ඔහු පවසයි.

“තමන්ගේ ප්‍රශ්න සැලකිල්ලට භාජනය වෙන්නේ නැහැ කියලා අප්‍රිකානුවන්ට හැඟෙද්දී, මිනිසුන් අහන්න පටන් ගන්නවා, හොඳයි, සමහරවිට අපට අපේ ම කෙනෙක් එතන හිටියොත් විතරක් අපි කියන දේවල් ඇහේවි පෙනේවි.”

පල්ලිය තුළ ජාතිවාදය?

චූ ඉලෝ පියතුමා මෙන්, අප්‍රිකානු මහාද්වීපයේ සිටින කාදිනල්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වුව ද, පල්ලිය තුළ ඔවුන්ට සැබෑ බලයක් නොමැති බව ඔහුට හැඟේ.

“ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පත් කරන කාදිනල්වරුන්ගේ ගුණාත්මකභාවය මම හෑල්ලු කරන්නේ නැහැ,” ඔහු පැහැදිලි කරයි.

නමුත් ඔහු අසන්නේ, “එහෙනම් ඔබ ඔවුන් පත් කරන විට, ඔබ ඔවුන්ට බලය ලබා දෙනවා ද? ඔබ පත් කරන මෙම පුද්ගලයින්ට අධිකාරිය දෙන්න, ඔවුන්ව විශ්වාස කර ඔවුන්ට එය කිරීමට ඉඩ දෙන්න.”

පල්ලියේ නායකත්වය වඩා ත් නියෝජනය කිරීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගත් උත්සහයන්ට බාධාවක් විය හැකි ගැටලුවක් චු ඉලෝ පියතුමා සහ ඔඩෝසෝ පියතුමා යන දෙදෙනා ම පෙන්වා දෙති.

“පල්ලිය තුළ අපි කවදාවත් කතා නොකරන ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නය තවමත් පවතිනවා,” ඔඩෝසෝ පියතුමාන් පවසයි.

“එය කෙනෙකුව හෑල්ලුවට ලක් කළ හැකියි, ඔහු කෙතරම් පාප්වරයෙකු වුවත්, ඔහු කුමක් කළත්, ඔහු අප්‍රිකානු පාප්වරයෙකු ලෙස පමණක් පෙනේවි.”

2022 අවසානය වන විට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම අනුප්‍රාප්තිකයා පත් කරන කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක් පමණ තෝරාගෙන තිබිණි. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය බහුතරයට එය ප්‍රමාණවත් නොවීය. ඉන් අදහස් වන්නේ, කවුරුන් තෝරා පත් කර ගත්ත ද, ඔහු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙන ගිය දුප්පතුන් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙත ළඟා වීම සඳහා වැදගත් තැනක් ලබා දීමට අවස්ථාවක් ඇති බව ය.

එය චූ ඉලෝ පියතුමන් විසින් “දුප්පතුන්ට පළමුව” යන දෘෂ්ටිය ලෙස හඳුන්වන ප්‍රවේශයක් වන අතර, එය “සවන් දෙන පල්ලියක්”, වඩාත් ප්‍රගතිශීලී පල්ලියක්, වඩාත් නිහතමානී පල්ලියක්” වීම කෙරෙහි අවධානය යොමු කරයි.

A worshipper receiving communion in Kenya

විමතියේ වාසිය

නමුත් තෝරා ගනු ලබන්නේ කවුරුන් ද යන්න අනාවැකි කීම දුෂ්කර කරන තවත් ප්‍රධාන සාධකයක් ඇති බව චූ ඉලෝ පවසයි.

“කතෝලිකයන් විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ, පල්ලියේ නායකයින් තෝරා ගැනීමට උපකාර කරන බවයි,” ඔහු මා පවසයි.

එනම්, 2013දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තේරී පත් වූ විට මෙන් අනපේක්ෂිත ප්‍රතිඵලයක් තිබිය හැකි බව ය. “ඔහු කවුරුවත් අනාවැකි කිව්ව කෙනා එයා නෙවෙයි,” චූ ඉලෝ පියතුමා පවසයි.

වඩා ත් වැදගත් යැයි සිතන්නේ කුමක් ද යන්න මම ඔහුගෙන් විමසුවෙමි. ඊළඟ පාප් වහන්සේ පල්ලිය පිළිබඳ උන්වහන්සේගේ පූර්වගාමියාගේ දැක්ම බෙදා ගන්නවා ද, නැතහොත් ඔහු අප්‍රිකාවෙන් පැමිණි කෙනෙක් ද?

“මම හොඳ පූජකයෙක් වගේ උත්තර දෙන්නම්,” ඔහු මද සිනහවකින් යුතුව මා හා පැවසීය.

“ෆ්‍රැන්සිස්ගේ දෘෂ්ටිය දිගට ම පවත්වා ගෙන යන පාප් වහන්සේ කෙනෙකු අපට ලබා දෙන ලෙස මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, එවැනි පුද්ගලයෙකු අප්‍රිකාවෙන් පැමිණෙන ලෙසට මම යාච්ඤා කරනවා.”